01

E   |     |  

2025-12-03

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සමස්ත චීන කාන්තා සම්මේලනය මඟින් ප්‍රදානය කරන ලද කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන ගංවතුර හා නායයෑම් ආපදාවට පත්වූවන් සඳහා ලබා දීමට තීරණයක්

  • කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් බෙදා දීම සිදුකෙරේ...

    සමස්ත චීන කාන්තා සම්මේලනය මඟින් ප්‍රදානය කරන ලද කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගංවතුර හා නායයෑම් ආපදාවට පත්වූවන් සඳහා ලබා  දීමට තීරණය කර ඇත.

    2025 නොවැම්බර් 25 දින සමස්ත චීන කාන්තා සම්මේලනය (All-China Women's Federation – ACWF)  විසින් යුවාන් 1,000,000 (ආසන්න වශයෙන් රු. මිලියන 43) ක් වටිනා ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාතෘ හා බිළිඳු කාමරයක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා දිවයින පුරා බෙදා හැරීම පිණිස කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මෙහි අන්තර්ගත විය. මේ අනුව මෙම ප්‍රදානයේ කොටසක් වශයෙන්  සනීපාරක්ෂක තුවා සහ ළමා ඩයපර් (Baby diapers), ළදරු පිසදැමීම්  (Baby wipes), සනීපාරක්ෂක කඩදාසි  (Tissue paper), මෘදු කපු තුවා (Soft cotton towels), විෂබීජහරණය කරන සනීපාරක්ෂක අත් සේදුම් දියර (Disinfection Of  Hand sanitizer) ඇතුළු කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන මෙලෙස ආපදාවට ලක්වූ පිරිස් වෙත බෙදා දීමට නියමිතව  ඇත. 

    කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මැදිහත්වීමෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඒකාබද්ධව  මෙම කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන බෙදා දීමට නියමිතව ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය පවසා සිටියේ  කාන්තා සවිබල ගැන්වීම සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දැක්වීමක් වශයෙන් ලද මෙම පරිත්‍යාගය මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආපදාවට ලක් වූවන් සඳහා ලබා දීමට තීරණය කිරීම ඔවුනට යම් සහනයක් වනු ඇති බවයි. 

    තවද මෙම ප්‍රදානය ලබා දීමට මූලිකව කටයුතු කළ මහජන චීන සමූහාණ්ඩුව මෙන්ම චීන තානාපති චී ෂෙන්හොං මහතා සහ සමස්ත චීන කාන්තා සම්මේලනය වෙත පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විශේෂ ස්තූතිය පළ කළාය. එසේම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියට සහ මේ සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විශාල සහයෝගයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සියලුම සාමාජික මන්ත්‍රීවරියන් හට ද ඇය සිය කෘතඥතාව පළ කළාය.



සම්බන්ධිත පුවත්

2026-01-14

උසස් නිලතල පිළිබඳ කාරක සභාව නව තානාපතිවරුන් තිදෙනෙකුගේ සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ නාමයෝජනා අනුමත කරයි

නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා  වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද උක්ත කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පසුගියදා (ජන. 09) අචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. ඒ අනුව, මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතා පත්කිරීම සහ ස්විට්සර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස දසනායක මුදියන්සේලාගේ සුමිත් ප්‍රියන්ත දසනායක මහතා පත් කිරීම සඳහා වන නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය අනුමතිය ලබාදී තිබේ.එමෙන්ම, ඔස්ට්‍රියා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් මෙනවිය සහ රුමේනියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සමන්ත ප්‍රියදර්ශන වීරසිංහ පතිරණ මහතා පත්කිරීම සඳහා වන නාම යෝජනාවලටද එහිදී කාරක සභාවේ අනුමතිය හිමිවිය.එයට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.  


2026-01-14

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.09 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය.කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ‍මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක්ද යෝජනා කරන ලදි. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව ඉදිරියේදී කාරක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචය කිරීමට තීරණය විය.එසේම මෙහිදී රජයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ eZ-cash සහ mCash මත්ද්‍රව්‍ය ජාවාරමේදී යොදාගැනීම සම්බන්ධයෙන් වාර්තා වන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය.මෙම රැස්වීමට ගරු නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, (නීතීඥ) අජිත් පී පෙරේරා, (ජනාධිපති නීතීඥ) ෆයිසර් මුස්තාපා, (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ චන්දන සූරියආරච්චි, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-13

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කරන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන්  ඇතුළුව  සියලු  සුබ සාධන  ව්‍යාපෘති පිළිබඳව ස්වාධීන  ඇගයීමක්  කරන්න  - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී  කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කිරීමට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන ලදී.වර්තමානයේ අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින්ට සුදුසුකම් ලබාගැනීම සඳහා පවතින නිර්ණායක 22 හි ගැටලු අවස්ථා රැසක් පැන නැග ඇති බැවින් ඉදිරියේදී තෝරාගැනීමට නියමිත අස්වැසුම ප්‍රතිලාභීන් නව නිර්ණායක යටතේ තෝරාගැනීමට කටයුතු කරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) 2026.01.08 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ   කරුණු සාකච්ජා විය.මෙදින  2025.12.15 දිනැති අංක 2467/03 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන  සුබසාධක ප්‍රතිලාභ පනතේ 9 වන වගන්තිය යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය දීර්ඝ කරගැනීම  කාරක සභාවේදී  සළකා බලන ලදී.එහිදී අස්වැසුම යෝජනා ක්‍රමය මගින් ප්‍රතිලාභ ලබාදුන් සංක්‍රාන්තික, අවධානමට ලක්වූ, දුප්පත් සහ  අන්ත දිළිඳු යන කාණ්ඩ වලින් සංක්‍රාන්තික කාණ්ඩය සඳහා  ප්‍රතිලාභ ලබාදීම 2025 අප්‍රේල් මස 30 වැනි දිනෙන් අවසන් වී ඇත. ඒ අනුව අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ යෝජිත නව සංශෝධන  මගින් අවධානමට ලක්වූ, දුප්පත් සහ  අන්ත දිළිඳු යන ඛාණ්ඩ  සඳහා  ප්‍රතිලාභ ගෙවනු  ලබන බව සුබසාධක ප්‍රතිලාභ  මණ්ඩලයේ නිලධාරීන් පැවසුහ. කෙසේ වෙතත් අනපේක්ෂිත ආපදාතත්ත්වය  හේතුවෙන්  ඉදිරියේදී ඇතිවිය හැකි  සමාජ ආර්ථික ගැටලූ  සැලකිල්ලට ගෙන  2025.12.31 වන දිනෙන් අවසන් වීමට නියමිතව  තිබු අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් 2026 ජුනි මස දක්වා දීර්ඝ කිරීමටත් යෝජනා කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. තවද අබාධසහිත තැනැත්තන්, වකුගඩු ආධාර ලබන තැනැත්තන් සහ වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් සඳහා ලබාදෙන ආධාර ද ක්‍රියාත්මක වන බව ඔවුහු කාරක සභාවට දැන්වූහ.මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කාර්ය භාරය පිළිබඳව කාරක සභාව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. පවුල් ලක්ෂ 20 ක්‍රමානුකූලව සවිබලගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු සහ ව්‍යපෘති ක්‍රියාත්මක කරන බව එම නිලධාරීහු පැවසුහ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැටුප් ලබාදීම ඇතුළු පරිපාලනමය ක්‍රියාවලිය සඳහා වාර්ෂිකව වැයවන මුදල පිළිබඳව කාරක සභාව විමසන ලදී. ඒ අනුව දළ  වශයෙන්  වාර්ෂිකව රුපියල් බිලියන 22කට අධික ප්‍රමාණයක් වැයවන බවත් 2026 වසර සඳහා වැටුප් සහ අදාළ සවිබල ගැන්වීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 27.38 ක මුදලක් වෙන් කර ඇති බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන සවිබලගැන්වීමේ කටයුතුවලට සාපේක්ෂව අතිවිශාල මුදලක් වැටුප් ඇතුළු පරිපාලන කටයුතු සඳහා වෙන්කිරීම කෙතරම් ඵලදායී  ද යන්න ප්‍රශ්න කළේය. මේ වනවිට  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක  කළ  ප්‍රජා  සවිබල ගැන්වීම්  ව්‍යාපෘති පිළිබඳව පසු විපරමක් හෝ සොයා බැලීමක් සිදු කර ඇත්ද යන්න ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. ඒ අනුව එවැනි විපරමක් සිදුව නොමැති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්  සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන්  ඇතුළුව අනෙකුත්  සියලු සුබ සාධන  ව්‍යාපෘති  ස්වාධීන ඇගයීමකට ලක්කිරීමට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මුදල් අමාත්‍යංශයට නිර්දේශ කරන ලදී.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිශාන්ත ජයවීර, ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-01-13

එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් බෙදාදීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ලැබුණු වන්දි මුදල් ඉතිරි වී ඇත්නම් එම මුදල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධ කාරණයකට වියදම් කරන ලෙස කාරක සභාවෙන් නිර්දේශඑක්ස්ප්‍රස් පර්ල්  (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවරයන්ට ගෙවීම සහ වෙරළ සංරක්ෂණය සඳහා යෙදවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ අනුව මේ වන විට ලැබී ඇති වන්දි මුදල් ප්‍රමාණය සහ ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණය, වෙරළ ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සහ මේ වන විට ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.  මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.08 පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මෙම නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරු‍වේ සහ ශ්‍රී ලංකාවේ පවරා ඇති නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පැමිණි පාර්ශ්වවලින් කරුණු විමසීම සිදු විය. එසේම ශ්‍රී ලංකාවේ නඩු පැවරීමේ ක්‍රියාවලියට පරිභාහිරව සිංගප්පූරුවේ නඩු පැවරීම සිදු වූ ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. තවද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) අජිත් පී. පෙරේරා,  රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) චිත්‍රාල් ප්‍රනාන්දු, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ අබූබකර් අතම්බාවා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එසේම පරිසර අමාත්‍යාංශය, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) නියෝජනය කරමින් නිලධාරීහුද මෙම කාරක සභාව සඳහා සම්බන්ධ වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks