පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-28
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
• අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය
• දෙපාර්තමේන්තුව සතු දැනට භාවිත කරන සහ දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
• ගිණුම් අංශයේ කාර්ය මණ්ඩලයේ පවතින නිලධාරී හිඟය පියවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කර, අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති හා අතහැර දැමූ ව්‍යපෘති 11 ක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.11.25 වන දින රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කර තිබූ ඇස්තමේන්තුගත වටිනාකම රු. මිලියන 55,078 ක් හා වියදම රු. මිලියන 4,047.43 ක් වූ සංවර්ධන ව්‍යාපෘති 11ක් මේ වන විට අතහැර දමා හෝ තාවකාලිකව නවතා දමා ඇති බවත් මෙම ව්‍යාපෘති අතර උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය, පහළ මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය හා යාන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය පවතින බවත්ය.
මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ රටට වැදගත් ව්‍යාපෘති ප්‍රමුඛතා පිළිවෙළකට අනුව වහාම අවසන් කළ යුතු බවයි. එසේම ඇතැම් ව්‍යාපෘති අවශ්‍ය ප්‍රමුඛත්වය හඳුනා නොගෙන ආරම්භ කොට ඇති බව කාරක සභාව පෙන්වා දුන් අතර මහජන මුදල් සම්බන්ධයෙන් වඩාත් වකීමෙන් කටයුතු කළ යුතු බව වැඩි දුරටත් අවධාරණය කළේය.
එසේම ඇල මාර්ගයක්, ජල මාර්ගයක්, හෝ වැවක් අවහිර කරන හෝ අයුතු ලෙස අල්ලාගන්නා යම් හෝ වාරිමාර්ග ඉදිකිරීමකට හානිකරන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර කාරක සභාව පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ඉදිරි දිනකදී නැවත සිදු කිරීමට කටයුතු කරන බවයි.
දෙපාර්තමේන්තුව සතු දැනට භාවිත කරන සහ දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර කාරක සභාව පෙන්වා දුන්නේ 2022 අගෝස්තු 31 වන විට වාහන 2004 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලිපිනයට ලියාපදිංචි වී තිබුණද දෙපාර්තමේන්තුවේ වාහන ලේඛන අනුව පවතින වාහන ගණන 1560 ක් බවයි. ඒ අනුව වාහන 464 ක් දෙපාර්තමේන්තුව භාරයේ නොමැති බව පෙන්වා දුන් කාරක සභාව මේ සම්බන්ධයෙන් සියලු දත්ත ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.
ගිණුම් අංශයේ කාර්ය මන්ඩලයේ පවතින නිලධාරී හිඟය පියවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මෙම පත්කිරීම් සඳහා අවශ්‍ය ඉල්ලීම සිදු කරමින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන ලෙසත් කාරක සභාවටද එහි පිටපතක් ලබා දෙන ලෙසත් නිර්දේශ කළේය.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන රෝහිත අබේගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චාමර සම්පත්, ඔෂානි උමංගා, ලාල් ප්‍රේමනාත් සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-06-23
මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මහා භාරකාර දෙපාර්තමේන්තුවට වත්කම් ලැබෙන විවිධ මාර්ග, එම එක් එක් වත්කම් ලැබුණ දින වකවානු, එම වත්කම් පවරණු ලැබුවේ කවුරුන් විසින්ද යන්න, පැවරීමට අදාළ කොන්දේසි ආදී කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස 2024 මැයි මස කාරක සභාව රැස් වු අවස්ථාවේ ලබා දී තිබූ නිර්දේශය සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විමසා සිටියේය. මේ අනුව, මේ සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තාව කාරක සභාව වෙත ලබා දුන් බව නිලධාරීහු කියා සිටියහ. එසේම මෙහිදී මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු භාර සහ බූදල් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.ගාල්ල බද්දේගම, සුදුවැලිපොත පිහිටි හැරී හපුගොඩ බූදලයට අයත් අක්කර 113ක භූමි ප්‍රමාණය බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීය. එහිදී තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මේ වන විට ටෙන්ඩරයක් ලැබී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මීට අමතරව මෙම ඉඩමේ කොටස් විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ජූලි මාසය වන විට මෙම ගොඩනැගිල්ලේ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ඉඩමේ පොල් අස්වැන්න හොඳින් පවතින බවත් එය නියමාකාරයෙන් නඩත්තු නොවන බවත් කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු කියා සිටියහ. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු වෘත්තීය අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-06-23
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව දැනට පවතින ගැටලු රැසක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළහ.ඒ අනුව ප්‍රාථමික පාසැල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියකට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසැල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු, ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසැල්වල සිදු වන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු රැසක් කාරක සභාවේදී සාකච්ඡා විය. එම කරුණු සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරු ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-06-22
එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) සංසිද්ධීන් හී බලපෑම්වලින් ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය යොමු විය.ඒ එම සංසදය එහි සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පර විරංජනයවීම (Coral Bleaching), මත්ස්‍ය ගහනයේ සිදු වන සංක්‍රමණික වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය (Algal Blooms), ඔක්සිජන් අවම කලාප (Dead Zones) ඇතිවීම සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වර්ධනය වීම වැනි ගැටලු පිළිබඳව සහභාගී වූ නිලධාරීහු සංසදයේ අවධානයට යොමු කළහ.එමෙන්ම, නියඟ තත්ත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ල වීම සහ ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, එකී ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සංසදය විසින් සහිපත් කරන ලදී. තවද, ඉදිරියේදී ඇති විය හැකි “ එල් නිනෝ” ( El Niño) තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කරන ලදී.එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන, ප්‍රජනන රටාවන් සහ ජීවත් වීමේ හැකියාව කෙරෙහි ද බලපෑම් එල්ල වන බව මෙහිදී අවධාරණය කෙරිණි. වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, නියඟ තත්ත්වයන් සහ උෂ්ණත්වය ඉහළ යෑමෙන් ගෙම්බන් ඇතුළු උභයජීවී විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවත්, එමගින් පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ද බලපෑම් ඇති විය හැකි බවත් සහභාගී වූ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන්, පර්යේෂකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගී විය .
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks