පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-27
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා පවතින නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ එම කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.
මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.
තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.
මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-11-26
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 21.11.2025 වන දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-26
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ 2024 වසරේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-11-25
රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩකිරීමට හැකිවන පරිදි නිර්මාණය කළ යුතුයි - ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය නොවන බවත් අනුකම්පා කිරීම ඔවුනට සිදු කරන එක්තරා අකාරයක අගෞරවයක් බවත් කම්කරු ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. සිදු කළ යුත්තේ ආබාධ සහිත තැනැත්තන්ට ඔවුන් වෙනුවෙන් තම කටයුතු ස්වාධීනව සිදු කර ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම බවද ගරු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය."ගරු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2025.11.20 දින ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ කම්කරු අමාත්‍යාංශයේ පැවති පළමු වැඩසටහනට සහභාගී වෙමිනි..ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) අනුග්‍රහයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල මහජන සබඳතාව සහිතව සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ඉලක්ක කර ගෙන මෙම වැඩමුළුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලදී.ඒ අනුව ගරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ආබාධ සහිත තැනැත්තන් ගැන සංවේදීකරණය පිළිබඳ අදහස් සමාජගත වන තුරු නීති රීති මගින් අන්තර්කකරණය ළඟා කර ගැනීමට කටයුතු කිරීමට සිදු ව ඇති බවයි. නීති රීති මගින් පමණක් මෙම පිරිසට අවශ්‍ය වන සහයෝගය ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගනිමින් ආබාධ සහිත තැනැත්තන් සමඟ කටයුතු කිරීමේ වැදගත්කම ගරු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට අවශ්‍ය පෞද්ගලික අංශයේ රැකියා සිදු කිරීමටද අවස්ථාව ලබා දීම පිළිබඳව එම අංශයෙන් තමා ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙරට රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩ කිරීමට හැකි වන පරිදි නිර්මාණය කළ යුතු බව පැවසුවේය. එය ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා වන සංවේදීකරණය ප්‍රථමයෙන් ඇති කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. එමෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට මෙරට ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට පවතින සියලු බාධා ඉවත් කළ යුතු බවත්, ඒ ඔස්සේ ආබාධ සහිත තැනැත්තන්ගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය. තවද ආබාධ සහිත තැනැත්තන් තව දුරටත් යැපෙන්නන් ලෙස නොව ආර්ථික ක්‍රියාවලියට දායක වන්නන් වීම තෙක් එම පුද්ගලයින් රැගෙන ඒමට කටයුතු කළ යුතු බවත් පැවසුවේය.ආබාධ සහිත සම්පත් දායකයින් විසින් මෙහිදී එම ප්‍රජාවගේ ගැටලු හා ඒ ආශ්‍රිත අනෙකුත් කරුණු පිළිබඳව පැමිණි පිරිස දැනුවත් කළහ. තවද වැඩමුළුව සඳහා සම්පත් දායකයින් ලෙස සහභාගී වී සිටි ආබාධ සහිත තැනැත්තන් තමන්ට රැකියාගත ස්ථානවලදී මුහුණ දීමට සිදු වූ ගැටලු, අත්දැකීම් සහ රැකියා අවස්ථා ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදු වන ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.මෙම වැඩමුළුව ඉදිරියේ දී සියලු අමාත්‍යාංශ ඉලක්ක කර ගෙන පැවැත්වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සැලසුම් කර ඇත.මෙම වැඩසටහන සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර, එහි වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආයතන හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක් ව සිටියහ.
2025-11-22
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.මේ සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් එ් ඒ ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු විය. එසේම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් 2026-2030 කාලසීමාවට අදාළ මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සහ 2026 වර්ෂයට අදාළ ණය ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමද සිදු විය. මෙහිදී විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 827 විදේශීය සෘජු ආයෝජන ලෙස ලැබි ඇති බවයි. මේ අනුව කාරක සභාව පෙනවා දුන්නේ ඉදිරි වසර කිහිපය තුළ විදේශ ආයෝජන අඛණ්ඩව වැඩි දියුණු වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් ආයතන විසින් ඵලදායී පියවර ගත යතු බවයි. මීට අමතරව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ විධි විධාන ප්‍රකාරව සාදන ලද, මුදල් කාරක සභාව විසින් අනුමත කළ යුතු වාර්තා 8කට කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks