2025-11-24
පුවත් කාණ්ඩ : පුවත්
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා වන දින දහසයේ වැඩසටහනට සහය දක්වමින් පාර්ලිමේන්තුව තුළ වැඩසටහන් රැසක් අද (නොවැ. 24) පැවැත්විණි. මේ අනුව ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සිදුවිය.
අද දින මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම මන්ත්‍රීවරු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) අනුග්‍රහය සහිතව සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක ගරු අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සිදු කෙරිණි. එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.
තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සිදුවිය.
දින දහසයේ වැඩසටහන යනු නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට (GBV) එරෙහිව වාර්ෂිකව පැවැත්වෙන ගෝලීය ව්‍යාපාරයකි. එය කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී මානව හිමිකම් දිනයෙන් අවසන් වේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ගෝලීය වශයෙන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ තුරන් කිරීම් සඳහා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග ගැන්වීම සඳහා ශක්තිමත් කිරීමයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද දින දහසයේ වැඩසටහනේ 2025 ගෝලීය තේමාව මගින් අවධාරණය කර ඇත්තේ "සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වන්න" යන්නයි.
මෙයට සමගාමීව කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින්, (ආචාර්ය) හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ මෙවර තේමාව වන සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව ඩිජිටල් අවකාශය තුළ සිදුවන හිංසනය අවසන් කිරීම සම්බන්ධයෙන් සියලු දෙනා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. එසේම නීති ප්‍රතිපත්ති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවධානයක් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා අවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය. මෙවර පාර්ලිමේන්තුවේද කාන්තා නියෝජිතයන් ගණන 22 ක් දක්වා වැඩිවීම සාධනීය තත්ත්වයක් බවත් ඒ අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සමාජගත කිරීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්වන ලෙසත් ඇය ඉල්ලීමක් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ ලෝකයේම කාන්තාවන් මිලියන 315ක් 2024 වසරේදී ලිංගික හිංසනයට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ ද මෙය සිදුවන බවත් විශේෂයෙන් ඩිජිටල් අවකාශය තුළ දේශපාලනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජන ගණන ඉහළ ගොස් ඇති බවත් ඇය පැවසීය. ඒ අනුව උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීවරියන් ද වාචිකව හෝ හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග වෙනස් කිරීමට යෝජනාවක් ගරු කථානායකවරයාට භාරදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය. ඒ අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා පළමු ආදර්ශය උත්තරීතර පාර්ලිමේන්තුව ලෙස රටට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. දේශපාලනයේදී කවර මතවාද දැරුවත් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස ඇය ආරාධනා කළාය.
එසේම මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පවසා සිටියේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන (UN women) මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන්, ගැහැණු ළමයින් ඇතුළු සියලු පුද්ගලයන් නිතර විවිධ ආකාරයේ අන්තර්ජාල හිංසනවලට මුහුණ දෙන බව හෙළි වී ඇති බවයි. ඒ අනුව ව්‍යාජ පුද්ගල අනන්‍යතාවයන් නිර්මාණය 36.9% ක් බවත්, අසභ්‍ය තොරතුරු/වීඩියෝ බෙදා හැරීම 36.9% ක් බවත් ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුන් එක් අයෙකු ශාරීරිකව හෝ වාචිකව ලිංගික හිංසනයට පත්වන බවත් එම තත්ත්වය වෙනස් කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය. එසේම මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට එක්වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට (UNFPA) ඇය සිය ස්තූතිය පළ කර සිටියාය.
2026-08-28
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 9 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.