පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-21
පුවත් කාණ්ඩ : පුවත්
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම ඊයේ (නොවැ. 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.
මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අවධාරණය කළහ. ක්‍රීඩා, සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා විය. එසේම ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහයෝගය වෙනුවෙන් ගරු කථානායකතුමා නවසීලන්ත රජයට සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා, සංචාරක, වෙළඳාම සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල මෙන්ම විශේෂයෙන් කාන්තා ක්‍රිකට් සහ පිරිමි රග්බි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීම තුළින් ක්ෂේත්‍ර ගණනාවක් හරහා දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබිය හැකි මුලපිරීම් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.
මෙම රැස්වීමට ප්‍රථම මහ කොමසාරිස්වරයා සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර සාකච්ඡාවක් ද පැවති අතර, එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
2026-06-03
පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 10 වැනි බදාදා දින පමණක් පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ජුනි 09 අඟහරුවාදා පෙ. ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිත ය. පසුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.ජුනි 10 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත් නියමිත ය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 11 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. පසුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 12 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත. එදින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිත ය. මීට අමතරව, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ මස 10 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමටද මෙහිදී අනුමතිය හිමි විය.
2026-06-03
සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමු විය. පාර්ලිමේන්තුවේදී පසුගියදා (01) පැවැති මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.මෙම හමුවේදී, ධුරයෙන් නික්ම යන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ගරු කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී ගරු කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දියානු රජයට සහ ජනතාවට එතුමා සිය ස්තුතිය පුද කළේය. විශේෂයෙන්ම, මෑතකදී මෙරටට බලපෑ 'දිත්වා ' සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව ලබාදුන් සහාය මෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද මෙහිදී කථානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය උදෙසා ඉන්දියාව විසින් ලබාදෙන පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය පාණ්ඩේ මහතා, ගරු නියෝජ්‍ය කථානායක ( වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමු වූ අතර, ශ්‍රී ලංකාවේදී සිය සේවා කාලය තුළ ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ගරු නියෝජ්‍ය කථානායකවරයා, වෛද්‍ය පාණ්ඩේ මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කළ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ඒ මහතා ගත් උත්සාහයන් වෙනුවෙන් ද සිය ස්තුතිය පළ කළේය.මෙම සුහද සාකච්ඡාවලදී, ගරු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළහ.
2026-06-02
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් දිනය සැමරුණු සති අන්තයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙසක් අසිරියෙන් බැබළෙමින් දර්ශනීය පරිසරයක් බවට පත් විය.විවිධ වර්ණයන්ගෙන් සැරසූ වෙසක් කූඩු, ආලෝකමත් විදුලි පහන්, බෞද්ධ කොඩිවැල් ඇතුළු වෙසක් සැරසිලි මගින් පාර්ලිමේන්තු පරිශ්‍රය අලංකාර කර තිබූ අතර, එය නෙත ගැටෙන සෑම අයකුටම ආධ්‍යාත්මික සුවයක් හා සැනසීමක් ලබා දුන්නේය.මෙම අලංකරණයන් බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, සහජීවනය හා සදාචාරාත්මක වටිනාකම් සමාජයට සිහිපත් කරමින් වෙසක් උත්සවයේ සැබෑ අරුත ජනතාව වෙත රැගෙන යාමට සමත් විය. රාත්‍රී කාලයේදී විදුලි ආලෝකයෙන් දිදුලන වෙසක් කූඩුවලින් සහ සැරසිලිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රයට විශේෂ චමත්කාරයක් එක් විය.ජාතිය, ආගම සහ සංස්කෘතිය ඉක්මවා යන බුදු දහමේ විශ්වීය පණිවිඩය සහ සාමය, සහජීවනය සහ මනුෂ්‍යත්වය අගය කරන සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ද මෙම වෙසක් අලංකරණය තුළින් ප්‍රකාශ විණි .මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භූමියේ රෝපණය කර ඇති ශ්‍රී මහ බෝධියේ අංකුරයෙන් බිහි වූ පූජනීය බෝධීන් වහන්සේ වටා පහන් දැල්වීම ද සිදු විය. එම ආගමික වතාවත්වලදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමින් රටටත් ජනතාවටත් සාමය, සෞභාග්‍යය සහ යහපත ප්‍රාර්ථනා කරන ලදී.වෙසක් අසිරියෙන් බැබළුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ අභිමානයත්, ආධ්‍යාත්මික උරුමයේ අගයත් සුවිශේෂී අයුරින් විදහා දැක්වීය.
2026-05-30
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලෝකවාසී බෞද්ධ ජනතාවට වගේම අද දිනය ශ්‍රී ලාංකිකයින් ලෙස අපට අතිශයින්ම වැදගත් වන්නේ අප රටේ සමාජීය සංස්කෘතික මූල පද්ධතියේ උරුමය රඳා පවතින්නේ බුදු දහම මත නිසා ය.මෙවර වෙසක් දින තේමාව වන්නේ ද " අභිත්ථරෙථ කල්‍යාණේ" වේ. එනම් "පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු" යන්නයි. පොදු ජන හිත සුව පිණිස සියල්ල හැර දා තම ජීවීත කාලය කැප කළ අප ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වන ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අප වෙත ගත හැකි උතුම්ම ආදර්ශයක් වන්නේ ද එය යි. ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දුන් පසුගිය ස්වභාවික විපත් හමුවේ අපගේ ශ්‍රී ලාංකික ජාතිය පීඩාවට පත් අනෙකාගේ යහපත වෙනුවෙන් පෙනී සිටි ආකාරය මගින් අප සමාජය තුළ ඇති මෙම බෞද්ධ ආගමික හරයන් මැනවින් පිළිබිඹු කළ බව ද මම විශ්වාස කරමි.ඒ නිසා බුදුරදුන් අනු දැන වදාළ ප්‍රෞඪ ආධ්‍යාත්මික පණිවිඩයට අනුව ජීවිතය ගත කිරීමේදී සෑම විටම පොදු ජන හිත සුව පිණිස ක්‍රියා කළ යුතු වන්නෙමු. පීඩාවට පත්වන අනෙකා වෙනුවෙන්, වගේම පොදු සමාජයක යහපත වෙනුවෙන් ක්‍රියාකළ හැකි සමාජයක් බිහිකිරිමේ අත්තිවාරමේ එක් කුළුණක් දරා සිටින්නේ ආගමයි. ඒ සදහා ආගම තුළ ද නව පුනර්ජීවනයක් උදා කරගත යුතුය. එවැනි ආගමික ප්‍රබෝධයක් මගින් සමාජ ප්‍රබෝධයක් බිහි කර ගත හැකි බවත් ඒ ඔස්සේ වඩාත් සුවපත් සමාජයක් උරුම කරගත හැකි බවටත් මම විශ්වාස කරමි.ඒ අනුව මේ උතුම් වූ තෙමඟුල් දින මුළු මහත් සමාජයක් ලෙස පොදු යහපත වෙනුවෙන් සෑම විටම කැප වීමට, ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමට ආරාධනා කරමින් අද දින වෙසක් උත්සවය සමරන ශ්‍රී ලාංකික සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යක් වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ සැමට තෙරුවන් සරණයි...!වෛද්‍ය ජගත් වික්‍රමරත්නකථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks