E   |     |  

2025-11-19

පුවත් කාණ්ඩ : පුවත් 

ගරු කථානායකතුමාගේ නිවේදන - 2025.11.19

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (3) හි විධිවිධාන ප්‍රකාරව, 2025 නොවැම්බර් 18 දින තේරීම් කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා  සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නිවේදනය කළේය.

තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ද , යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.





සම්බන්ධිත පුවත්

2026-09-22

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.09.22

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 22) පාර්ලිමේන්තුවට  නිවේදනය කළේය.එම නිවේදනය පහත පරිදි වේ;ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.ඒ අනුව,•    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.•  "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු "හැට හතට එලඹෙන දිනය" යන වාක්‍ය ඛණ්ඩය, "හැට හත සම්පූර්ණ කළ දිනය" යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුය.•  "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතු ය:    "එසේම, පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර හයක ධුර කාල සීමාව, මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු ධුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය." ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ;•  "අධිකරණ සංවිධාන (සංශෝධන)" පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.


2026-09-21

සැප්තැම්බර් 22, 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී ඇත.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.ඒ අනුව සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග  විවාදයට ගැනීමටත්  අනතුරුව  ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.එසේම සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) සහ බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට තීරණය වී ඇත. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට  නියමිතය. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තීරණය කර තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.


2026-09-21

කේප් ටවුන්හි පැවති 69 වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහභාගී වෙති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2026 සැප්තැම්බර් 13 සිට 19 දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී පැවති 69 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට (CPC) සහභාගී වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය, ජාත්‍යන්තර නීතිය සහ පාර්ලිමේන්තු මුහුණ දෙන වර්තමාන අභියෝග පිළිබඳ සාකච්ඡාවලට ඔවුහු දායක වූහ.දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) දකුණු අප්‍රිකානු ශාඛාව විසින් සත්කාරකත්වය දක්වන ලද මෙම සමුළුව, “වෙනස් වෙමින් පවතින ලෝක තත්ත්වයක් තුළ ජාත්‍යන්තර නීතිය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය” යන තේමාව යටතේ පැවැත්විණි.ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙහි ප්‍රධානියා ලෙස ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය කටයුතු කළ අතර, සමුපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගරිකා අතාවුද, කේ. ඉලංකුමාරන්, සුගත් වසන්ත ද සිල්වා සහ සුරංග රත්නායක යන මහත්ම මහත්මීන් ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු පරිවර්තක එදිරිසිංහ ආරච්චිගේ අමරසේන මහතා ද නියෝජිත පිරිසට එක් වූහ.මෙහිදී, පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ (CWP) ආසියානු කලාපීය නියෝජිතවරිය වන ගරු ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් එම සංගමයේ 10 වැනි සමුළුවේදී “සියලු දෙනා සඳහා නීති සම්පාදනය කිරීම: ක්‍රියාපටිපාටි, භාවිතයන් සහ ප්‍රතිපත්ති තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රධාන ධාරාවට එක් කිරීම” යන මැයෙන් පැවති වැඩමුළුව මෙහෙයවන ලදී. එහිදී ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව නීති සම්පාදනය, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි, කාරක සභා විමර්ශන, අයවැයකරණය සහ නීති සම්පාදනයෙන් පසු සිදු කරන අධීක්ෂණය සඳහා ඇතුළත් කිරීමේ ප්‍රායෝගික ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි..කේප් ටවුන්හිදී 2026 සැප්තැම්බර් 17 වැනි දින පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මාන උළෙලේදී, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානයෙන් (CPA New Parliamentarian Award 2026) පිදුම් ලැබීය. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දැක් වූ  දායකත්වය ද මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කෙරිණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, පොදු රාජ්‍ය මණ්ඩලීය ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩසටහන නියෝජනය කරමින්, ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කර ගන්නා නීති සම්පාදනය සහ නියෝජනය ප්‍රවර්ධනය කිරීමේදී පාර්ලිමේන්තු සහ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබඳව පැවති සාකච්ඡාවලට සහභාගී විය.මේ අතර, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු නියෝජනය කරන පාර්ලිමේන්තු නිලධාරීන් එක් වූ  60 වැනි Society of Clerks-at-the-Table (SoCATT) රැස්වීමට සහභාගී වූවාය. එහිදී ආයතනික භාවිතයන් හුවමාරු කර ගැනීම සහ පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරිණි.69 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීම මගින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සම්බන්ධ වීමටත්, පාර්ලිමේන්තු අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පොදු වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ සාකච්ඡා සඳහා දායක වීමටත් අවස්ථාව උදා විය. එමෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලීය අනෙකුත් මහා සභා රැස්වීම් සඳහා සහභාගී වීම මගින්, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු ජාලයන් තුළ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ක්‍රියාකාරී සහභාගීත්වය තවදුරටත් පිළිබිඹු කෙරිණි.


2026-09-21

චීනයේ පැවති 2026 SCO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සංසදයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහභාගි වෙයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයුර්වේද හා දේශීය සෞඛ්‍ය සේවා උරුමය නවීන විද්‍යාත්මක පර්යේෂණ, තත්ත්ව සහතිකකරණය, සුරක්ෂිතතාව, අධ්‍යාපනය සහ තාක්ෂණික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙම මස 16 වැනි  දින  සිට 18 වැනි දින දක්වා චීන මහජන සමූහාණ්ඩුවේ ජියැංෂි පළාතේ නන්චාං නගරයේ පැවති 2026 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සංසදයට සහභාගි වූහ.ඉහත සඳහන් සංසදයට සහභාගි වීම පිණිස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මාරසිංහගේ ජයලාල් මහතා ද ඇතුළත් වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම මස 15 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් චීනය බලා පිටත්ව ගියහ.“නවීන තාක්ෂණය ඔස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සවිබල ගන්වමින් සැමගේ මානව සෞඛ්‍යය උදෙසා එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවති මෙම සංසදය, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ යහපත් අසල්වැසිභාවය, මිත්‍රත්වය සහ සහයෝගිතාව පිළිබඳ කොමිසම සහ ජියැංෂි පළාත් මහජන රජය එක්ව සංවිධානය කර තිබිණි. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සංවාදය සහ ප්‍රායෝගික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෞඛ්‍ය බලධාරීන්, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා වෘත්තිකයන්, විශේෂඥයන්, විද්වතුන්, පර්යේෂකයන් සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා කර්මාන්තයේ නියෝජිතයන් රැසක් මෙම සංසදයට එක්ව සිටියහ.මෙම මස 17 වැනි දින පැවති සංසදයේ සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ආරාධනා කර තිබිණි. එහිදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයුර්වේද සහ දේශීය සෞඛ්‍ය සේවා උරුමය පිළිබඳව අවධාරණය කළ කථානායකවරයා, සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම නවීන විද්‍යාත්මක පර්යේෂණ, තත්ත්ව සහතිකකරණය, සුරක්ෂිතතාව, අධ්‍යාපනය සහ තාක්ෂණික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.එමෙන්ම ඖෂධීය ශාක, විද්‍යාත්මක පර්යේෂණ, අධ්‍යාපනය සහ පුහුණුව, තත්ත්ව ප්‍රමිතීන්, තාක්ෂණය සහ ආරක්ෂිත හා ඵලදායී සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද කථානායකවරයා අවධාරණය කළේය.සංසදයේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද්විපාර්ශ්වික සාකච්ඡාවලට, නිරීක්ෂණ චාරිකාවකට සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නව ප්‍රතිපත්ති, ප්‍රමිතීන්, තාක්ෂණයන් සහ නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවයකට ද සහභාගි වූහ.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ (CPPCC) උප සභාපතිනි ෂෙන් යුවෙයු මහත්මිය සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික පරිපාලනයේ උප කොමසාරිස් මහාචාර්ය හුවාං ලුචි මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. ෂෙන් යුවෙයු මහත්මිය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.ශ්‍රී ලංකා නියෝජිත පිරිස China Resources Jiangzhong Pharmaceutical Co., Ltd., Jiangxi University of Traditional Chinese Medicine, Jemincare Group සහ Shanghai University of Traditional Chinese Medicine යටතේ ක්‍රියාත්මක Longhua Hospital Jiangxi Hospital යන ආයතන වෙත ද ක්ෂේත්‍ර චාරිකාවල නිරත වූහ. එම චාරිකාවලදී සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණ, සායනික භාවිතය සහ ඖෂධ සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍ර සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.සංසදයට සමගාමීව කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීන ආයෝජකයන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, සහල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී අවධානය යොමු විය.මෙම සංසදයට ශ්‍රී ලංකාව සහභාගි වීම තුළින් චීනය සහ අනෙකුත් සහභාගි වූ රටවල් හා ආයතන සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, ආයුර්වේදය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා පර්යේෂණ, අධ්‍යාපනය, සායනික භාවිතය සහ ඖෂධ සංවර්ධනය සම්බන්ධ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ඉදිරි සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් හැකි විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks