පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-10
පුවත් කාණ්ඩ : පුවත්
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 04.11.2025 වන දින පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියහ.
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සඳහා, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරුන්ද සහභාගී වූහ.
මෙහිදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ මන්ත්‍රීවරයන් ලෙස විනය නිසි පරිදි පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය. නීතියට අවනත නොවන පුද්ගලයෙකුට නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ විය නොහැකි බවද ඒ මහතා පැවසුවේය. තවද දේශපාලකයා සහ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු දෙදෙනෙකු බවත් දේශපාලකයා අනාගත ඡන්දය ඉලක්ක කරගෙන කටයුතු කරන නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු බවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේය.
මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ලෝකයේ අනෙකුත් රටවල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව උදාහරණ ගෙන හැර දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය එම රටවල ජාතික මට්ටමේ ගැටලු විසඳීමේදී ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම නායකයා යනු බලය භුක්ති විඳින පුද්ගලයෙකු නොවන බවත් නායකයා යනු තම සමාජයට සහ රටට සේවය කරන්නෙකු පමණක් බවත් ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
තවද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අදහස් දක්වමින් ප්‍රථමයෙන්ම සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරිය ඇතුළු සභිකයින් විශිෂ්ට ලෙස භාෂා හැසිරවීම පිළිබඳව සිය සුබ පැතුම් පළ කළාය. අනතුරුව ඇය පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කළාය.
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් ආමාත්‍යවරුන් හා අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
2026-06-04
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-06-03
පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 10 වැනි බදාදා දින පමණක් පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ජුනි 09 අඟහරුවාදා පෙ. ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිත ය. පසුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.ජුනි 10 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත් නියමිත ය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 11 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. පසුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 12 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත. එදින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිත ය. මීට අමතරව, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ මස 10 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමටද මෙහිදී අනුමතිය හිමි විය.
2026-06-03
සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමු විය. පාර්ලිමේන්තුවේදී පසුගියදා (01) පැවැති මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.මෙම හමුවේදී, ධුරයෙන් නික්ම යන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ගරු කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී ගරු කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දියානු රජයට සහ ජනතාවට එතුමා සිය ස්තුතිය පුද කළේය. විශේෂයෙන්ම, මෑතකදී මෙරටට බලපෑ 'දිත්වා ' සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව ලබාදුන් සහාය මෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද මෙහිදී කථානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය උදෙසා ඉන්දියාව විසින් ලබාදෙන පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය පාණ්ඩේ මහතා, ගරු නියෝජ්‍ය කථානායක ( වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමු වූ අතර, ශ්‍රී ලංකාවේදී සිය සේවා කාලය තුළ ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ගරු නියෝජ්‍ය කථානායකවරයා, වෛද්‍ය පාණ්ඩේ මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කළ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ඒ මහතා ගත් උත්සාහයන් වෙනුවෙන් ද සිය ස්තුතිය පළ කළේය.මෙම සුහද සාකච්ඡාවලදී, ගරු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළහ.
2026-06-02
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් දිනය සැමරුණු සති අන්තයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙසක් අසිරියෙන් බැබළෙමින් දර්ශනීය පරිසරයක් බවට පත් විය.විවිධ වර්ණයන්ගෙන් සැරසූ වෙසක් කූඩු, ආලෝකමත් විදුලි පහන්, බෞද්ධ කොඩිවැල් ඇතුළු වෙසක් සැරසිලි මගින් පාර්ලිමේන්තු පරිශ්‍රය අලංකාර කර තිබූ අතර, එය නෙත ගැටෙන සෑම අයකුටම ආධ්‍යාත්මික සුවයක් හා සැනසීමක් ලබා දුන්නේය.මෙම අලංකරණයන් බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, සහජීවනය හා සදාචාරාත්මක වටිනාකම් සමාජයට සිහිපත් කරමින් වෙසක් උත්සවයේ සැබෑ අරුත ජනතාව වෙත රැගෙන යාමට සමත් විය. රාත්‍රී කාලයේදී විදුලි ආලෝකයෙන් දිදුලන වෙසක් කූඩුවලින් සහ සැරසිලිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රයට විශේෂ චමත්කාරයක් එක් විය.ජාතිය, ආගම සහ සංස්කෘතිය ඉක්මවා යන බුදු දහමේ විශ්වීය පණිවිඩය සහ සාමය, සහජීවනය සහ මනුෂ්‍යත්වය අගය කරන සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ද මෙම වෙසක් අලංකරණය තුළින් ප්‍රකාශ විණි .මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භූමියේ රෝපණය කර ඇති ශ්‍රී මහ බෝධියේ අංකුරයෙන් බිහි වූ පූජනීය බෝධීන් වහන්සේ වටා පහන් දැල්වීම ද සිදු විය. එම ආගමික වතාවත්වලදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමින් රටටත් ජනතාවටත් සාමය, සෞභාග්‍යය සහ යහපත ප්‍රාර්ථනා කරන ලදී.වෙසක් අසිරියෙන් බැබළුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ අභිමානයත්, ආධ්‍යාත්මික උරුමයේ අගයත් සුවිශේෂී අයුරින් විදහා දැක්වීය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks