01

E   |     |  

2025-11-03

පුවත් කාණ්ඩ : පුවත් 

ජනාධිපති අරමුදල මගින් ඌව පළාතේ අ.පො.ස (උසස් පෙළ) විශිෂ්ටයෝ ඇගයීමට ලක් කරයි

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ. 02) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසු සිසුවියන් 240 දෙ‍ෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කථාව සිදු කළේය.

මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා වත්මන් රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරමින් සිටින බවත්, රටක අධ්‍යාපනය සඳහා අයෝජනය කිරිම තරම් වැදගත් වටිනා ආයෝජනයක් තවත් නොමැති බවත් දරුවන් ලබන අධ්‍යාපනය තුළින් රටට මහඟු සේවයක් කළහොත් එම ආයෝජනයේ ප්‍රතිඵල රටට සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බවත් සඳහන් කළේය. 

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු කථානායකවරයා, "අධ්‍යාපනයෙන් උගතෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙනවාට අපි කැමතියි. ප්‍රඥාවන්තයා කවදාවත් පරමාණු බෝම්බයක් හදන්නේ නැහැ. උගතෙක් වී වංචා කරනවා නම් උගත්කමෙහි වටිනාකමක් නැහැ. එතැන තිබෙන්නේ ප්‍රඥාවන්තකම නොව උගත්කම පමණයි ඒ නිසා ඔබගේ උගත්කම රටට ඔබින ලෙස යොදාගතහොත් එවිට ඔබගේ දෙමාපියන් ඔබ උස් මහත් කිරීමට ලබාදුන් පෝෂ්‍යදායී බත් කටට සාධාරණයක් ඉටු වෙනවා" යැයිද කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා නව රජයේ සංකල්පයකට අනුව දූ දරුවන්ගේ ජීවිතයේ ඉදිරිය ශක්තිමත් කර ගැනීමට මෙවැනි දායකත්වයක් ලබාදීම පිළිබඳව සතුටු වන බවත් එම අවස්ථාව උදාකරදීම සම්බන්ධව ජනාධිපති අරමුදලට ස්තුතිවන්ත වන බවත් පැවසුවේය. ජනාධිපති අරමුදල ගොඩනැඟුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සහන සැලසීමට මෙන්ම අධ්‍යාපනය ලබන මේ රටේ දූ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමට බවත් වත්මන් රජය ජනාධිපති අරමුදල විධිමත් කිරීමේ අරමුණු ඇතිව අද වන විට ප්‍රාදේශීය මට්ටමට ගෙන ගොස් තිබීම හේතුවෙන් සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ට අරමුදලේ ප්‍රතිලාභ ලැබෙමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම පිළිබඳව විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඌව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් වෙනුවෙන් 2025.11.01 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සංචාරක ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, නීතිඥ සරත් කුමාර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේරත්න, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන්ද ඇතුළු පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-06-04

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.


2026-06-03

පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස් වෙයි

පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 10 වැනි බදාදා දින පමණක් පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.  ජුනි 09 අඟහරුවාදා  පෙ. ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිත ය. පසුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.ජුනි 10 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත්  නියමිත ය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 11 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙ‍ටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට  ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. පසුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.ජුනි 12 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත. එදින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිත ය. මීට අමතරව, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ මස 10 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමටද මෙහිදී අනුමතිය හිමි විය.


2026-06-03

ධුරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ගරු කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන  ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමු විය. පාර්ලිමේන්තුවේදී පසුගියදා (01) පැවැති මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර  මහත්මිය ද එක්ව සිටියාය.මෙම හමුවේදී, ධුරයෙන් නික්ම යන  නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ගරු කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද ඒ මහතා සිය ස්තුතිය  පළ කළේය.වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී ගරු කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන්  සහයෝගය වෙනුවෙන් ඉන්දියානු රජයට සහ ජනතාවට එතුමා සිය ස්තුතිය පුද කළේය. විශේෂයෙන්ම, මෑතකදී මෙරටට බලපෑ 'දිත්වා '  සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව ලබාදුන් සහාය මෙන්ම,  මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද මෙහිදී කථානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.  එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රගතිය  උදෙසා ඉන්දියාව විසින් ලබාදෙන පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන්  පිළිබඳව ද ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය පාණ්ඩේ මහතා, ගරු නියෝජ්‍ය කථානායක ( වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමු වූ අතර, ශ්‍රී ලංකාවේදී සිය සේවා කාලය තුළ ලබාදුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ගරු නියෝජ්‍ය කථානායකවරයා, වෛද්‍ය පාණ්ඩේ මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කළ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ඒ මහතා ගත් උත්සාහයන් වෙනුවෙන් ද සිය ස්තුතිය පළ කළේය.මෙම සුහද සාකච්ඡාවලදී, ගරු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබපැතුම් එක් කළහ.


2026-06-02

වෙසක් අසිරියෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආලෝකමත් වෙයි

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් දිනය සැමරුණු  සති අන්තයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙසක් අසිරියෙන් බැබළෙමින් දර්ශනීය පරිසරයක් බවට පත් විය.විවිධ වර්ණයන්ගෙන් සැරසූ වෙසක් කූඩු, ආලෝකමත් විදුලි පහන්, බෞද්ධ කොඩිවැල් ඇතුළු  වෙසක් සැරසිලි මගින් පාර්ලිමේන්තු පරිශ්‍රය අලංකාර කර තිබූ අතර, එය නෙත ගැටෙන සෑම අයකුටම ආධ්‍යාත්මික සුවයක් හා සැනසීමක් ලබා දුන්නේය.මෙම අලංකරණයන් බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, සහජීවනය හා සදාචාරාත්මක වටිනාකම් සමාජයට සිහිපත් කරමින් වෙසක් උත්සවයේ සැබෑ අරුත ජනතාව වෙත රැගෙන යාමට සමත් විය. රාත්‍රී කාලයේදී විදුලි ආලෝකයෙන් දිදුලන වෙසක් කූඩුවලින් සහ සැරසිලිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රයට විශේෂ චමත්කාරයක් එක් විය.ජාතිය, ආගම සහ සංස්කෘතිය ඉක්මවා යන බුදු දහමේ විශ්වීය පණිවිඩය සහ සාමය, සහජීවනය සහ මනුෂ්‍යත්වය අගය කරන සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ද මෙම වෙසක් අලංකරණය තුළින් ප්‍රකාශ විණි .මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භූමියේ රෝපණය කර ඇති ශ්‍රී මහ බෝධියේ අංකුරයෙන් බිහි වූ පූජනීය බෝධීන් වහන්සේ වටා පහන් දැල්වීම ද සිදු විය. එම ආගමික වතාවත්වලදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමින් රටටත් ජනතාවටත් සාමය, සෞභාග්‍යය සහ යහපත ප්‍රාර්ථනා කරන ලදී.වෙසක් අසිරියෙන් බැබළුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ අභිමානයත්, ආධ්‍යාත්මික උරුමයේ අගයත් සුවිශේෂී අයුරින් විදහා දැක්වීය. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks