01

E   |     |  

2025-10-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම විසින් සිදුකරන හදිසි මිලදීගැනීම් සහ වාර්ෂික ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම විසින් සිදු කරන හදිසි මිලදීගැනීම් සහ වාර්ෂික ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.  

මෙහිදී විශේෂයෙන්ම 2022 වර්ෂයට පෙර පැවති ටෙන්ඩර් පටිපාටිය සහ 2022 වර්ෂයෙන් පසු එම ටෙන්ඩර් පටිපාටියට එක් කළ සංශෝධන සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සඳහා බලශක්ති අමාත්‍යාංශය, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම, ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී 2022 වර්ෂයට පෙර හදිසි මිලදීගැනීම් සිදු වූ ආකාරය සම්බන්ධයෙන් කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසීමෙන් අනතුරුව හදිසි මිලදීගැනීම් සම්බන්ධව සියලු දත්ත ඇතුළත් කො‍ට සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.  

එසේම සීමාසහිත  ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම සතුව මේ වන විට පවතින ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් වන දින වකවානු සහ ඉන් අනතුරුව ඉදිරියේදී මිලදීගැනීමට නියමිත ගල් අඟුරු ඇනවුම් ප්‍රමාණය සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුවේදී සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ජගත් විතාන සහ අසිත නිරෝෂණ එගොඩ විතාන යන මන්ත්‍රීවරු සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-05-26

මධ්‍යම පළාත් සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට

2021 - 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික තත්ත්ව වාර්තාවත්, 2024 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාවත් සහ වර්තමාන කාර්යසාධනයත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට මධ්‍යම පළාත් සභාව කැඳවා පරීක්ෂා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්විණි.මෙහිදී, 2019 සැප්තැම්බර් 05 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බලමින් මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලිපි ගොනු විනාශ කිරීම සම්බන්ධ සිදුවීමට අදාළ කරුණු සාකච්ඡාවට ගැනිණි.එහිදී, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින්  සහ ජනාධිපති ලේකම් විසින් ලබාදුන් නියෝග අදාළ බලධාරීන් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය විය. මේ සම්බන්ධව උපදෙස් ලබාදෙමින් කාරක සභා සභාපතිවරයා එම සිදුවීමට අදාළ සියලුම වාර්තා සහ ලිපි, කාරක සභාවට යොමු කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ  නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.තවද, අනීතික ලෙස බදු කොන්දේසි උල්ලංඝනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිමන්හලක් තෙවන පාර්ශ්වයක් වෙත ලබාදීමට අදාළ සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව එම සිදුවීමට අදාළව තීරණ ගත් නිලධාරීන් හඳුනාගැනීමට කටයුතු කරන ලෙස සහ මෙම සිදුවීම මේ සම්බන්ධව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසත්, කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී ඇති මධ්‍යම පළාතේ, මාර්ග සංවර්ධනයේදී හා මගී ප්‍රවාහන සේවා කටයුතුවලදී සිදුව ඇති අක්‍රමිකතා සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, ආයතන තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ ක්‍රියාවලි කඩිනමින් සම්පූර්ණ කර ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. රාජ්‍ය ආයතනයක් ලාභ ලබන්නේ නම් එම ලාභය රජයට හිමිවිය යුතු අතර, එකී ආදායම් ආයතනික කටයුතු සඳහා යොදාගන්නේ නම් නිර්ණායකගත නීති හා ක්‍රමවේද අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවද හෙතෙම දැඩිව අවධාරණය කළේය.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, අජන්ත ගම්මැද්දෙගේ, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.  


2026-05-26

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරයි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන්  සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීය. ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී. කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම  අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන්  සභාව විසින් දන්වා සිටින ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් ද, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මාර්ගගතවද  සහභාගී වූහ.


2026-05-25

අනුරාධපුර දැරිය අපයෝජන සිද්ධියේ ඉදිරි නීතිමය පියවර සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ සාකච්ඡාවක

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි.මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (මැයි 25) රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් 2026-06-05 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කෙරිණි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්මලි ගුණසිංහ සහ ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ මුලිකත්වයෙන්  යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස, ගරු හේමාලි වීරසේකර මහත්මිය, ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න  මෙනෙවිය, ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය සහ ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය කටයුතු කරනු ඇත.


2026-05-25

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (මැයි 19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා කාරක සභාව දැනුවත් කළේය.මේ අවස්ථාව සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks