බලන්න

01

E   |   த   |  

2025-10-16

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු. මිලියන 15.01 ක් වැයකර ඇති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

  • නඩුවට පෙනීසිටීමේදී නීතීඥයෙක්ට එක් නඩුවාරයකට දිනකට රු. ලක්ෂ 6 ක් ගෙවා ඇති බව හෙළි වෙයි.
  • අදාළ මුදල් අධ්‍යක්ෂවරයා සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවීමට අධිකරණයෙන් නි‍යෝග
  • පෞද්ගලික අවශ්‍යතා මත අනුව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට මෙම කාලසීමාවේ කටයුතු කර ඇති බව පැහැදිලියි - කෝප් කාරක සභාව

 

2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.1 ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මෙහිදී පැමිණි නිලධාරීන්ගෙන් විමසීමේදී අනාවරණය වූයේ මෙම නඩු වලට අදාළව එක් නඩුවාරයකට පෙනී සිටීමට නීතීඥයෙක්ට රු. ලක්ෂ 6 ක් ගෙවා ඇති බවයි. නමුත් මෙම නඩුවේ තීන්දුව ලෙස අදාළ මුදල් අධ්‍යක්ෂවරයා සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවීමට අධිකරණයයෙන් නියෝග කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් අධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර කාරක සභාව පෙන්වා දුන්නේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට මෙම කාලසීමාවේ කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි. මේ නිසා මහජන මුදල් අවභාවිත වී ඇති බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ අනාවරණය වූයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එසේම අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීමට රු. මිලියන 5.59ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් පිළියෙළ කර තිබුණද එය ඊට අදාළ ඉංජිනේරුවරයෙකු අනුමත කර ‍නොතිබුණු බව කෝප් කාරක සභාව පෙන්වා දෙන ලදි. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම අලුත්වැඩියාකිරීම් සිදු කරන සමයේ අධිකාරිය සතුව ප්‍රමාණවත් මුදල් නොතිබුණු බවත් මේ නිසා කොන්ත්‍රාත්කරුවෙකු සොයාගැනීමට අපහසු වූ බවත්ය. මේ නිසා ඉතා අපහසුවෙන් මෙම මුදලට කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධකර ගැනීමට හැකිවූ බවයි. නමුත් කාරක සභාව පෙන්වා දුන්නේ අඩු මුදලකට කොන්ත්‍රාත්කරුවෙකු සොයාගන්නට සිදු වුවද එය අත්‍යාවශ්‍ය කරුණක් වන බවයි. ඉදිරියේදී එවැනි දේ සිදුනොවීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව උපදෙස් දෙන ලදි. 

තවද නව කාර්ය මණ්ඩල සංයුතිය අනුමත කර ගැනීම සම්බන්ධයෙන් සහ පවතින අත්‍යාවශ්‍ය තනතුරු සඳහා වන පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

එසේම කාරක සභාවේ සභාපතිවරයා පෙන්‍වා දුන්නේ පෞද්ගලික අභිලාශයන් සහිතව මෙතෙක් සිටි ප්‍රධානීන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බවත් මේ නිසා ආයතනය ගමන් කළ යුතු නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කොට නැති බවයි. එබැවින් ඉදිරියේදී එම දුර්වලතා මගහරිමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් ක‍ටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය. තවද ආයතනයේ පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන ලෙසද හෙතෙම නිර්දේශ කළේය. 

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්ෂ, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, තිලිණ සමරකෝන්, ධර්මප්‍රිය විජේසිංහ, දිනේෂ් හේමන්ත සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-13

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේ දී සාකච්ඡා කෙරේ

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ  II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය  කරන ලදී.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.


2026-11-12

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, පවතින අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස් වූ  අතර, 2026 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදනවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය එහිදී සමාලෝචනයට ලක් විය.මෙහිදී පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීම, පාසල් සිසුන්ගේ සුබසාධන කටයුතු සහ ගුරු අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, විභාග පැවැත්වීමේ කටයුතු, පෙළපොත් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් සැලසීමේ වැදගත්කම ද අවධාරණය විය.තවද, පාසල් සිසුන්ගේ සුබසාධන වැඩසටහන් යටතේ නිල ඇඳුම් බෙදා හැරීම සහ ශිෂ්‍යාධාර ගෙවීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා වූ අතර, ශිෂ්‍යාධාර ගෙවීම් කඩිනම් කිරීම සඳහා නව පරිගණක පද්ධතියක් හඳුන්වාදීම සහ එමගින් සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ක්‍රියාකාරීත්වය හා සංවර්ධන සැලසුම් ද සමාලෝචනයට ලක් විය.මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් සියලුම අදාළ ආයතන තම මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට උපදෙස් ලබා දෙන ලදී. එම වාර්තා නියමිත පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.තවද, වසර අවසානයේ පමණක් නොව වසර මැදදී ද අදාළ ආයතන කැඳවා සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට කාරක සභාව තීරණය කළේය.ඊට අමතරව, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සඳහා 2026 වර්ෂයේදී වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.මෙම අවස්ථාවට කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks