04

E   |     |  

2025-10-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක අනු කාරක සභාවට

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ, ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්‍ෂේත්‍රය යොමු කරවීම සඳහා වන අනු කාරක සභාවට ඉදිරිපත් කිරීම සිදු විය.

ඒ එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්. 26 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අනු කාරක සභාව පෙන්වා දුන්නේ රියදුරා, මගියා යන සියලු පාර්ශ්වයන්ට සාධාරණ ආකාරයෙන් ප්‍රවාහන අංශය සම්බන්ධයෙන් නිර්ණායක සකස් විය යුතු බවයි. මෙහිදී කුලී රථ සම්බන්ධයෙන් එම වෘත්තීන්වල නිරතවන පුද්ගලයින්ගේ අදහස් සහ යෝජනා වැදගත් වන බව අනු කාරක සභාව පෙන්වා දෙන ලදී. මේ අනුව පැමිණි නියෝජිතයින් තම අදහස් සහ යෝජනා අනු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවා ලිඛිතව ඉදිරියේදී අනු කාරක සභාවට වඩාත් විස්තරාත්මකව ලබාදීමටද එකඟ විය. මේ අනුව අනු කාරක සභාවේ සභාපතිවරිය පැවසුවේ ඉදිරියේදී ප්‍රවාහනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමේදී මෙම යෝජනා ද සලකා බලන බවයි.

එසේම මෙහිදී ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා විය. මේ අනුව ආබාධිත ප්‍රජාව නියෝජනය වන පරිදි ප්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණ කරන ආකාරය පිළිබඳ ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන්ද අනු කාරක සභාවේ අවධානය යොමු විය.

මෙම අනු කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක සහ සුජීව දිසානායක යන මහත්වරු සහභාගී වූහ.

 




සම්බන්ධිත පුවත්

2026-03-31

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධ්‍යනය සඳහා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ  ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, 2026 මාර්තු 22 සිට 27 දක්වා නවදිල්ලි සහ මුම්බායි හි  අධ්‍යයන සංචාරවල නිරත වූහ.ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට, විපක්‍ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, කේ. ඉලන්කුමාරන්, චතුර ගලප්පත්ති,  රවීන්ද්‍ර බණ්ඩාර,  අසිත නිරෝෂණ එගොඩ විතානගේ,  ශාන්ත පත්ම කුමාර සුබසිංහ,  නීතිඥ ගීතා හේරත්, කින්ස් නෙල්සන් , ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ. තවද, ආංශික අධීක්ෂණ කාරක සභා කාර්යාලයට අනුයුක්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන, ප්‍රධාන නිලධාරිනී  එස්. ඩබ්ලිව්. ටී. ආර්. ද සිල්වා  සහ පාර්ලිමේන්තු නිලධාරිනී  ඩබ්ලිව්. කේ. ඒ. එම්. එම්. එම්.  අර්ථනායක  යන මහත්ම  මහත්මීහුද  මෙම සංචාරයට එක්ව සිටියහ.නියෝජිත කණ්ඩායම 2026 මාර්තු 22 වන දින නව දිල්ලි නගරයට පැමිණි අතර, ඊළඟ දින සිට නිල කටයුතු ආරම්භ කළේය. මෙම වැඩසටහන තුළ ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හමුවක් සහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ප්‍රේර්නා ස්ථල් හිදී පුෂ්පෝපහාරයක් සිදුකිරීම ද ඇතුළත් විය. එමෙන්ම, නියෝජිත කණ්ඩායම හා  ලෝක් සභාවේ ගරු  කථානායක ඔම් බිර්ලා මහතා අතර  හමුවක්ද  පැවැත්විණි.තවද ඉන්දීය පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිවාරයක් පැවැත්වූ අතර, එමඟින් ආයතනික ව්‍යුහයන් සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්  පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී. එමෙන්ම , නියෝජිත කණ්ඩායම ප්‍රවාහන, සංචාරක හා සංස්කෘතිය  පිළිබඳ ස්ථාවර  කාරක සභාව සහ  නිවාස හා නාගරික කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව සමඟද මෙම නියෝජිත පිරිස ඵලදායී සාකච්ඡාවල නිරත වුහ.2026 මාර්තු 24 වන දින, නියෝජිත කණ්ඩායම තාක්ෂණික හා ප්‍රතිපත්තිමය කටයුතු කේන්ද්‍රකරගත් වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අතර, එයට ඉන්දියාවේ “PM Gati Shakti” ජාතික ප්‍රධාන සැලැස්ම පිළිබඳ සැසිවාරයක්ද ඇතුළත් විය. එමෙන්ම  ජාතික මහාමාර්ග අධිකාරියේ සහ ඉන්දීය සූර්ය බලශක්ති සංස්ථාව යන ආයතනයන් වලද සංචාරය සිදුකළ අතර ඉන්දියානු කර්මාන්ත සම්මේලනය සමඟද සාකච්ඡා පැවැත්විණි. තවද ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නියෝජිත පිරිස ඉන්දියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡාවල නිරත වූහ.2026 මාර්තු 25 වන දින නියෝජිත කණ්ඩායම නාගරික සංක්‍රමණ පද්ධති සහ පොදු ප්‍රවාහනයේ වඩාත් නිවැරදි භාවිතයන් අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිස දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාවේ සංචාරය කළහ. ඉන් අනතුරුව, නව දිල්ලි මහ නගර සභාව සමඟ Smart City ආරම්භක වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී නගර පාලනය, ඩිජිටල් මූලික ව්‍යුහයන් සහ තිරසර නාගරික  සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලදී. තවද, ජල් ශක්ති අමාත්‍යාංශයට අයත් “Jal Jeevan Mission” වැඩසටහනේ නිලධාරීන් සමඟ හමුවක් පැවැත්වූ අතර,  මහා පරිමාණ ජල සැපයුම් කළමනාකරණය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කරන ලදී.මුම්බායි නගරයේ  පැවැත්වූ වැඩසටහන යටතේ, අටල් සේතු පාලම, ජවහර්ලාල් නේරු වරාය සහ නවී මුම්බායි ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් හා සංවර්ධන ස්ථාන වල  නියෝජිත පිරිස  සංචාරය  කළහ. තවද, නියෝජිත කණ්ඩායම Power Exchange India Limited වෙත සංචාරය කිරීමෙන් අනතුරුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගරු ප්‍රධාන අමාත්‍යවරයා  හමුවුහ.2026 මාර්තු 27 වන දින, නියෝජිත පිරිස Gateway of India සහ Elephanta Caves ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල සංචාරය කළහ. තවද  නියෝජිත පිරිස  මහාරාෂ්ට්‍ර විධන් සභාවේ ගරු කථානායකවරයා  සහ  ආයෝජන ප්‍රවර්ධනය සහ කර්මාන්ත අංශයන්හි  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.මෙම පාර්ලිමේන්තු අධ්‍යයන සංචාරයට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සහභාගී වීම ඔස්සේ, ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ අඛණ්ඩ පාර්ලිමේන්තු සහයෝගීතාව තුළින් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය ක්ෂේත්‍රයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ වඩාත් නිවැරදි භාවිතයන් ඉදිරියට ගෙන යාමට  ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කෙරිණි.


2026-03-30

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට...

2026 ජනවාරි 06 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අදාළ කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු ද සලකා බැලේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම ද සිදු කරන ලදි.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, චන්දන සූරියආරච්චි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.


2026-03-30

“ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග” සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. මීට අදාළ නියෝග 2026 ජනවාරි 16 දිනැති 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.මේ සඳහා අනුමතිය හිමි වූයේ එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.


2026-03-30

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන්න - පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස්  ලබා දෙන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයවිදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිතා කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය. මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා විය.ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙසද නිර්දේශ කරන ලදී.මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ  භාවිතා කරන පෙරහන් පද්ධතිය  එම අංශු ඉවත් කිරීමට  ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන් කළහ. මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, රොෂාන් අක්මීමන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, උපුල් කිත්සිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks