logo

02

E   |     |  

2025-08-29

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා - ගරු අමාත්‍ය බිමල් රත්නායක

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

ගරු අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභා‍පතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි. එසේම අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3 ක පමණ කාලයක් ලබාදෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5000 ත් 7000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් ගරු අමාත්‍යවරයා සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා පාහේ සිය කැමැත්ත පළ කළ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එබැවින් ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම Citra Innovation Lab ආයතනයෙන් මගින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර මෙහිදී මගීන්, රියදුරන් හා පෞද්ගලික බස් රථ හිමියන් 2100කගෙන් පමණ දත්ත රැස්කර තිබේ. ඊට අදාළ වාර්තාවක්ද එම ආයතනය මගින් ලබාදුන් බවද ‍අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

තවද අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ද පැවසීය. එසේම වාහනවල ටයර් අවශ්‍ය නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ත්‍රී රෝද රථ, වෑන් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ රියදුරන් වෙනුවෙන් සුබසාධන අරමුදලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. 

දුරගමන් සේවා සහ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගාල් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 

එසේම දුම්රිය සේවය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා සහ වරාය සම්බන්ධ අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටු දෙකක් පත් කිරීම සහ එහි සාමාජිකයින් නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මීට අමතරව කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මතු කළ කරුණු සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කර, නිර්දේශ ලබාදීම සිදු විය.

මෙම කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද සම්බන්ධ විය.

 




සම්බන්ධිත පුවත්

2026-07-23

ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.


2026-07-22

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ යොමුකිරීමේ අනුදේශ කෙටුම්පත සම්මත කෙරේ

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය වෙනුවෙන් සකස් කර ඇති යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) කෙටුම්පත  පාර්ලිමේන්තු සංවර්ධන හවුල්කාර ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණි.ඒ එම සංසදය එහි සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදීය.සංසදය විසින් මෑතකදී සංවිධානය කරන ලද වැඩමුළුවකදී යොමුකිරීමේ අනුදේශය සකස් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගෙන තිබූ අතර, එම යෝජනා පදනම් කර ගනිමින් මෙම අවසන්  කෙටුම්පත සකස් කර ඇත. එසේම, යොමුකිරීමේ අනුදේශය සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර, සංසදය නියෝජනය කරමින් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය. 


2026-07-22

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.


2026-07-22

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් කොමිසමට කරුණු යොමු කිරීමට "කෝප්" කමිටුවේ අවධානය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු විය.ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන මහත්වරු සහභාගි වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks