01

E   |     |  

2025-08-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පොලිසියේ පුරප්පාඩු 5000ක් පිරවීමට කඩිනම් පියවර ගන්නවා - මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි

ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් ඉන් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා  පසුගියදා  පැවසීය. මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බවත් මේ වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඒ මහතා‍ගේ සභාපතීත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ සභභාගීත්වයෙන් පසුගියදා (ජූලි 25) පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා මේ බව සඳහන් කළේය. 

දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඔවුනට අවශ්‍ය පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කරන අතර  පොලිස් නිලධාරිනියන් 1000ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා පැවසීය. තවද ලබන වසරේ පොලිස් සේව‍ය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් මේ පිළිබඳව ගරු ජනාධිපතිවරයා දැනුවත් කර 2026 අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

‍විවිධ අකටයුතුකම් හා සම්බන්ධ බවට වාර්තා වන  පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ සිදු නොවන බවට  චෝදනා එල්ල වන පොලිස් ස්ථාන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒවා සම්බන්ධ විශේෂ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට  මෙහිදී උපදෙස් ලබා දුන්නේය. විශේෂ වැටලීම් සඳහා වලාන දූෂණ මර්දන ඒකකය වැනි තවත් දූෂණ මර්දන ඒකක කිහිපයක් පිහිටවීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. එසේම 1997 අංකයට ඔනෑම කෙනෙකුට නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. 

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු, නීති විරෝධි ධීවර ආම්පන්න භාවිතය, නීති විරෝධි ක්‍රියා පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දෙන්නන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමේ අවශ්‍යතාව ආදි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්.ආර්.බී. සෙනවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-01-09

පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ කෝපා කමිටුව අවධාරණය කරයි

තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) බඳවාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානයපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.01.06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටතුළ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද  ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් සිදු කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යන‍ාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවත් කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත්ය.මේ අනුව, කාරක සභාව පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් මේ වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබාදීමට කාරක සභාව සූදානම් බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) වැඩි ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කිරීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) 12 දෙනෙකු බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබුණද දැනට සිටින්නේ එක් නිලධාරියෙකු පමණක් බවත්, ඔහුද ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය නොකරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ පවතින පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු ඉක්මනින් කරන ලෙසයි.එසේම පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු යාවත්කාලීන තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතිය සම්බන්ධ යෝජනාවලියක් මාස 3ක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි.එසේම දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් 31 දිනට හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් 48% ගැසට් නොකිරීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.මීට අමතරව ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට තීරණය කරන ලද ස්ථාන සහ අදාළ කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත්, නලීන් හේවගේ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා,  ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ  සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-08

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඒවාට  සාධනීය විසදුම් ලබා දීමට ගරු ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම  ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද  අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-01-08

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින  ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද  (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා  පෙරවරු 6.00ට පෙර, සේවයේ  යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය  නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ  අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරී‍මට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-01-08

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි...

දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම  5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන්  ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන  25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති  බවත්, එකී මුදල්  නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට  ප්‍රථමයෙන්  දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට  උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා  සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  ඇතුළු  එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  සහ  (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන  එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks