පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-07-30
රාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ජූලි 23) රැස්විය.
රාජ්‍ය දැව සංස්ථාව විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 2006 වසරේ සිට 2022 වසර දක්වා කාලයට අදාළව එම අරමුදල්වලට අධිභාර වශයෙන් රු. මිලියන 122 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම සංස්ථාවේ සේවකයන් විසින් ගෙවිය යුතු දායක මුදල් රු.මිලියන 126කට ආසන්න මුදලක් සංස්ථාව විසින් ගෙවීමට සිදුවීම හේතුවෙන් සංස්ථාවට රු. මිලියන 248ක අලාභයක් සිදුවී ඇති බවත් විගණකාධිපතිවරයා පැවසීය.
2006 වසරේ සිට සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් ගෙවීමේදී ඊට EPF, ETF ඊට ගෙවිය යුතු ද යන්න කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ අදාළ ආයතනවලින් විමසා ඇති බවත් ඊට පිළිතුරු ලැබීම පමා වීමෙන් මෙම අලාභය සිදුව ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. 2018 වසරේදී සේවකයෙක් පවරන ලද නඩුවකින් ලබාදුන් අධිකරණ තීන්දුවක් අනුව මෙය ගෙවීමට සිදුවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කමිටුවක් ද පත්කර විමර්ශනයක් සිදුකළ නමුත් වගකිව යුතු නිලධාරියෙක් හෝ පාර්ශවයක් ඉන් අනාවරණය නොවූ බවත් නිලධාරීහු පැවසුහ. කෙසේ වුවද මෙම කරුණුවල අපැහැදිළි බවක් පෙනී යන බැවින් මේ පිළිබඳව සතියක් තුළ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
රාජ්‍ය දැව සංස්ථාව ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය මගින් දිගින් දිගටම පාඩු ලැබීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. මෙම අගයන් 2021 වසරේදී රු. මිලියන 20ක්, 2022 වසරේදී රු. මිලියන 95.6ක්, 2023 වසරේදී රුපියල් මිලියන 72.1ක් සහ 2024 දී රු. මිලියන 75.6 ක් වන ලෙස වාර්තාවන බව මෙහිදී අනාවරණය විය. ආර්ථික අර්බුදය ආදී හේතු මෙම අලාභයට හේතුවූ බව නිලධාරීහු මෙහිදී පැවසූහ. වාර්ෂික විකුණුම් අවශ්‍යතාව මත නිෂ්පාදන අවශ්‍යතාව පුරෝකථනය කිරීම, අලෙවිකරණය සඳහා නව උපායමාර්ග අනුගමනය කිරීම වැනි ක්‍රම තුළින් අලාභය අවම කර සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව මෙහිදී අවධාරණය කළේය. විශ්වාසය දිනූ අනර්ඝතම දැව හා දැවමය භාණ්ඩ සැපයුම්කරුවීම සහ දැව වෙළඳපොලෙහි සැබෑ නායකත්වය ඉසිලීම ආයතනික දැක්ම වුව ද එම අරමුණු සපුරා ගැනීමට ඇති බාධාවන් පිළිබඳව කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය.
දැව හා දැව භාණ්ඩ අපනයනය සංස්ථාවේ කාර්යයන් අතර තිබුණ ද අපනයනය සිදු නොකිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පයිනස් අපනයනය සඳහා උත්සහ කළ ද ලංකාවේ නිෂ්පාදිත පයිනස් දැව ප්‍රභේදය සඳහා කර්මාන්තකරුවන්ගේ ඉල්ලුම අඩුවීම සහ මෙරට නිෂ්පාදන වියදම අධිකවීම හේතුවෙන් මෙම උත්සහය අසාර්ථක වූ බව නිලධාරීහු පැවසූහ. එසේම ආනයනයේදී දැව සංස්ථාවේ පරීක්ෂාවට ලක්කර සහතිකයක් නිකුත් කළ හැකි මට්ටමට නෛතික වෙනස්කම් සිදුකරන ලෙස ද කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමු කළේය.
අනියම් 11 ක් සහ දෛනික පදනමෙන් 49ක් වන පරිදි ද්වීතියික මට්ටමෙන් කළමනාකාර සහකාර තනතුරෙහි සේවකයන් 60 දෙනෙකු සේවයේ යොදවා තිබීම පිළිබඳව ද විමර්ශනය සිදු කෙරිණි. එසේම සේවක සංඛ්‍යාව තුළ අනුමත නොවූ තනතුරු 9 ක පුද්ගලයන් ස්ථිර සේවයේ සිටිමින් වැටුප් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී පැහැදිළි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම පිළිබඳ කාරක සභාව සිය නොසතුට පළ කළ අතර මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.
ආයතනයේ තොග කළමනාකරණ පරිගනක පද්ධතිය නිසි පරිදි නඩත්තු නොවීම පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. 2011 වසරේදී ස්ථාපිත කර ඇති මෙම පද්ධතිය නිසි සේවක පිරිසක් නොමැතිවීම සහ යාවත්කාලීන වීම සිදු නොවී ඇති බව හෙළිවිය. එය නිසි පරිදි ගොඩ නැගීම සහ අදාළ දත්තවලට සිදුව ඇති දේ පිළිබඳව ද වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව දැනුම් දෙන ලදි.
ආයතනයේ මූල්‍ය අංශයේ පවතින වාහන ලේඛනය අනුව සංස්ථාව සතුව පවතින වාහන සංඛ්‍යාව 547ක් වුවද ආයතනයේ නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇති වාහන ගණන 563ක් වීම පිළිබඳව ද අවධානය යොමු විය. මුදල් අමාත්‍යාංශයේ අනුමතිය මත ආයතනයේ සේවකයන්ට ආයතනයේ නමට ලියාපදිංචි යතුරු පැදි ලබා දී ඇති බවත් වසර 5කට පසුව ඒවායේ අයිතිය සේවකයන්ට පැවරීමේදී එය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මෙම පරස්පරතා ඇතිවූ බවත් නිලධාරීහු පැවසුහ. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසා බලා පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.
සංස්ථාවේ භාවිතයට ගත හැකි මට්ටමේ දම්වැල් කියත් තිබියදී ගස් බිම හෙලීම සඳහා නිරතුරුව කොන්ත්‍රාත් ලබාදීම පිළිබඳව අවධානය යොමු විය. දම්වැල් කියත් භාවිතය තහනම් කිරීම නිසා විශේෂ අවසරය මත 2023 වසරේ දම්වැල් කියත් සියයක් ගෙන්වා ඇති බවත් නිලධාරිහු සඳහන් කළහ. බාහිර පුද්ගලයන් භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය විසින් රාජසන්තක කරන ලද දම්වැල් කියත් ද යොදා ගනිමින් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග, සුනිල් රාජපක්ෂ,පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම පරිසර අමාත්‍යාංශයේ ලේකම් රෝහිත උඩුවාවල, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහාචාර්ය නිශාන්ත පටබැඳි යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.
2026-09-04
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ද කාරක සභාව විසින් මෙහිදී මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.
2026-09-04
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන ලදීගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම පරිපූරක ඇස්තමේන්තුව සාකච්ඡාවට ගැනිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා වී මිලදී ගැනීම කඩිනම් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී වී මිලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීම, වී මිල සහ වෙළඳපොළ කළමනාකරණය, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. වී ගොවියා ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මේ අතර ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. Asycuda පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින් කඩදාසි රහිත රේගු ක්‍රියාවලිය තෝරාගත් අංශ සඳහා 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු පැවසුහ. ජාතික ඒකීය වෙළඳ කවුළුව (Trade National Single Window) හරහා රේගුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ASYCUDA හි පහසුකම් තිබුණද සෙසු රාජ්‍ය ආයතනවල මේ හා සමාන ඩිජිටල්කරණය කරන ලද පද්ධති නොතිබීම හේතුවෙන් ජාතික ඒකීය වෙළඳ කවුළුව තුලට සියලු ආයතන ඇතුලත් කරගත නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.එමෙන්ම භාණ්ඩ ආනයනයට පෙර සිදුකරන අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් ඇති මූල්‍ය අවභාවිතයන් පිළිබඳවද අවධානය යොමු කර, ඒවා වැළැක්වීම සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.
2026-09-03
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තවද එය ප්‍රතිශතාත්මකව 130 % ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් එ් අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726 ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන් සියයට 9.96 ක ප්‍රතිශතයකි. එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-03
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks