E   |     |  

2025-07-25

පුවත් කාණ්ඩ : පුවත් 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීමට අයැදුම්පත් කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2025 අගෝස්තු 01 දින හෝ එදිනට පෙර යොමුකළ යුතුය.

අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. 

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම’ යනුවෙන් සඳහන් කළයුතුය

සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/334

 




සම්බන්ධිත පුවත්

2026-06-12

අනාගත නායකයින් ගොඩනැගෙන්නේ සදාචාරාත්මක වටිනාකම් මතයි – නියෝජ්‍ය කථානායකවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි

හෙට දවසේ නායකයින් වන ශිෂ්‍ය ප්‍රජාව, වැඩිහිටියන්ට ගරු කිරීම, සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කර ගැනීම සහ අවංක පුරවැසියන් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අවධාරණය කළේය.මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී  පැවැති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේය.මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව  අවබෝධයක් ලබා දීමේ අරමුණින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.ශිෂ්‍ය අවධියේ සිටම විනය, වගකීම සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ජනතා නියෝජිතයන් ලෙස තේරී පත් වන  පුද්ගලයන් සදාචාරාත්මක, වගකීම් සහගත හා නීතිගරුක පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ජනතාවට ද වැදගත් කාර්යභාරයක් ඇති බවත් සභාව අමතමින් ගරු නියෝජ්‍ය කථානායකතුමා සඳහන් කළේය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා, ජනාධිපති අරමුදල මඟින් සිසුන් සහ මහජනතාව සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය. අධ්‍යාපනික අවශ්‍යතා ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා ජනාධිපති අරමුදල හරහා සහාය ලබා ගත හැකි බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් එම සේවාවන් ජනතාවට සමීප කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා විසින්  සිසුන්ව  දැනුවත් කළේය.කෘත්‍රිම බුද්ධිය පවතින මේ  යුගයේ තරගකාරී ලෝකයට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා අදහස් දැක්වීය.අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වූ අතර, කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුහු  තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත ගරු නියෝජ්‍ය කථානායකතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.වැඩසටහන අවසානයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ.එස්. ශ්‍රීලාල් මහතා ස්තූති කතාව සිදු කළේය.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කෙරුණු අතර, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ,  සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ විද්‍යාර්ථ විද්‍යාලයීය  ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-06-11

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස චීනයේ පැවති නිල වැඩමුළුව සාර්ථකව අවසන් කරයි

මහජන චීන සමූහාණ්ඩුවේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවකට සහභාගී වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස, සිය නිල වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 2026 ජුනි 05 වන දින ආපසු දිවයිනට පැමිණියහ.ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස, 2026 මැයි 26 සිට ජුනි 04 වන දින දක්වා චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය විසින් පවත්වන ලද වැඩසටහනට සහභාගී වූහ.මෙම සංචාරය අතරතුර, චීනයේ රාජ්‍ය පාලන ව්‍යුහය, සංවර්ධන උපායමාර්ග, ප්‍රජාතන්ත්‍රවාදී උපදේශන යාන්ත්‍රණයන් සහ ජාතික ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳව චීන ජ්‍යෙෂ්ඨ විද්වතුන්, පර්යේෂකයන් සහ නිලධාරීන් විසින් මෙහෙයවූ සැසිවලට නියෝජිත පිරිස සහභාගී වූහ.නියෝජිත පිරිස විසින් ජාතික මහජන කොංග්‍රස් (NPC) සම්මන්ත්‍රණ ශාලාව සහ මහජන මහා ශාලාව ඇතුළු ප්‍රධාන ජාතික ආයතන වෙත ද නිල සංචාර සිදු කරන ලදී. ඊට අමතරව, ජාත්‍යන්තර තේ දිනය සැමරීම සඳහා 2026 මැයි 29 වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකටද ඔවුන් සහභාගී වූ අතර, එමගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී තේ උරුමය සහ සංස්කෘතික හා ආර්ථික සබඳතා සඳහා එහි දායකත්වයද පිළිබිඹු කරන ලදී.ඉන් අනතුරුව, ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂු (Guangzhou) නගරවල සිදුකළ සංචාර අතරතුර, නියෝජිත පිරිස සුහුරු යටිතල පහසුකම්, උසස් තාක්‍ෂණය, සන්නිවේදනය, කෘෂිකර්මාන්තය සහ නව බලශක්ති කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ ආයතන සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය කරන ලදී.මෙම වැඩමුළුව ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආයතනික සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය දැනුම හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු පිටුවහලක් වූ අතර, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ද දායක විය.


2026-06-10

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්තිය පිළිබඳව ගරු මන්ත්‍රීවරුන්ව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දැනුවත් කරති

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී  අද  (ජුනි 10)  පැවැත්විණි.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන්  විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-09

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (ජුනි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණය කර ඇත. එහෙත්, 14 වන වගන්තිය [යෝජිත 12අ(ආ) වගන්තිය] සහ 18 වන වගන්තිය [යෝජිත 17අ, 17ආ සහ 17ඇ වගන්ති] සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය අවශ්‍ය වන බව ද තීරණය කර ඇත. තවද, අධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට අනුකූලව එම වගන්ති සංශෝධනය කරනු ලබන්නේ නම්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින (09)  කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද ගරු කථානායකවරයා නියෝග කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks