පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-07-18
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (ජූලි 17) රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලද අතර ලබන 24 වැනිදා දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය හිමිවිය.
ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ. මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ විය.
නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ අතර මීට පෙර කාරක සභාවේදී එකඟවූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබිණි. නව පනත් කෙටුම්පතට අනුව ඉඩම් අයිතිය, පාරිභොගික අයිතීන් ආදි කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම පනත සම්මත වීමෙන් පසු පාරිභෝගීක අයීතීන් පිළිබඳ රෙගුලාසි සෑදීම සඳහා මසක කාලයක් තුළදී විදුලිබල අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව එක්ව කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.
මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, මංජුල සුරවීර ආරච්චි සහ ශාන්ත පද්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සහභාගී වූහ.
2026-09-03
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2026-09-02
විදේශ රැකියා සඳහා විගමනය වන ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත “ඉන්සා” (InSA – Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ව්‍යාපෘතිය පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ පවුල්වල දිගුකාලීන මූල්‍ය කළමනාකරණය, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව සහ කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව සඳහන් විය.විශේෂයෙන්ම, වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීමේදී, ඔවුන් විදේශගතව සිටින කාලය තුළ දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එමෙන්ම, වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන් සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මේ සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමට නියමිත අතර, විදේශගත වීමට පෙර, විදේශගතව සිටින කාලය තුළ සහ නැවත මෙරටට පැමිණීමෙන් පසු යන අවස්ථා තුනේදීම දරුවන්ගේ ආරක්ෂාව හා පවුල් සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට නියමිතය.ඒ අනුව, දරුවන් සඳහා සකස් කරන විකල්ප රැකවරණ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න තහවුරු කිරීම, අවදානම් තත්ත්වයන් හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී විශේෂ රැකවරණ සැලසුම් සකස් කිරීම සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මැදිහත් වන බව සඳහන් විය. විදේශගතව සිට නැවත පැමිණෙන පවුල් සඳහා පවුල් සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු මනෝසමාජීය සහයෝගය ලබාදීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් “ඉන්සා කමිටු” (InSA) පිහිටුවීමට නියමිත අතර, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී සඳහන් විය.ළමා ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) සකස් කිරීමටද යෝජනා වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, විදේශ රැකියා සඳහා යන සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කමද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. සංචාරක වීසා ඇතුළු අවිධිමත් මාර්ග ඔස්සේ විදේශගත වන පුද්ගලයන් පිළිබඳ නිල දත්ත නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා සුබසාධන හා ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බැවින්, විදේශගත වන ශ්‍රමිකයන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය විය.මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රගතිය අධීක්ෂණය කිරීමට නියමිත අතර, “ඉන්සා” (InSA) ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2027 පෙබරවාරි මාසය වන විට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදී.
2026-09-02
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබිණි. 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී තිබේ. කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා මෙම පනත 2009 වසරේදී සම්මත කර තිබේ. එහෙත් මෙරට දැනට පවතින තත්ත්වය සලකා බලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය සඳහා විශේෂිත වූ කාර්යාලයක් හෝ තනතුරක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් පවත්නා ත්‍රිවිධ හමුදා ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ එම සම්බන්ධීකරණය ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදු කරනු ලබයි. එසේම මෙරට ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම කාර්යාලයේ කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් රජයට සිදුවන වැය බර අඩු කිරීමට හැකියාවක් පවතින බව ද නිරීක්ෂණය විී ඇත.ඒ අනුව පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 9 දින විවාදයට ගැනීමට (දෙවැනි වර කියවීමේ) නියමිතව ඇති මෙම පනත් කෙටුම්පත සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය. රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-09-02
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී Coalition for Inclusive Impact (CII), එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක පර්යේෂණ ප්‍රතිඵල සහ ප්‍රතිපත්ති නිර්දේශ පිළිබඳ ඉදිරිපත් කිරීමකට අදාළ කරුණු සාකච්ඡා කෙරිණි.මෙහිදී අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම, වන අලින්ගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරාලීම, මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය ආරක්ෂා කිරීම, අවිධිමත් ධීවරයන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සහ පාරිසරික සංරක්ෂණය සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු විය.වන අලි වාසස්ථානවල ජල මූලාශ්‍ර සහ ආහාර සම්පත් සම්බන්ධයෙන් පවතින ගැටලු හමුවේ අලි ඇතුන් ජනාවාස වෙත පැමිණීමේ අවදානම අවම කිරීම සඳහා සුදුසු කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.හඳුනාගෙන ඇති අලි මංකඩවල් අතරින් ප්‍රමුඛතා පදනම මත අලි මංකඩවල් 06ක් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම, වනජීවී රක්ෂිතවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.මේ අතර, මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එහි රජයට අයත් ඉඩම් නිසි පරිදි මැනුම් කර සීමා ලකුණු යෙදීම මෙන්ම අනවසර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, සුළු පන්න ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය.අලි-මිනිස් ගැටුම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත මත පදනම් වූ ක්‍රියාමාර්ග ගැනීම, අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට ගැළපෙන සාර්ථක ක්‍රමවේද අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, සුදත් බලගල්ල සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks