E   |     |  

2025-06-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ ප්‍රකාශයට පත්කළ නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක මුද්දර බදු පනතේ 3 වන වගන්තිය මගින් මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රකාශයට පත්කළ නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ජුනි 17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

2025 අප්‍රේල් 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අය වැයේදී යෝජනා වූ ආකාරයට මෙලස මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව ඕනෑම දේපලක කල් බද්ද මත මුද්දර බද්ද අය කරනු ලබන අතර 2025 අය වැය මගින් පෙර පැවති අනුපාතය සෑම රුපියල් 1,000ක් සඳහා අය කල රු.10ක මුදල, රුපියල් 20 දක්වා මෙමගින් ඉහළ දමන බව නිලධාරීහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුහ. තවද මෙම සංශෝධනය මගින් දළ දේශීය නිෂ්පදනයෙන් 0.01%ක අතිරේක අදායමක් බලාපොරොත්තු වන බවද එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉදිරිපත්කළ රෙගුලාසි දෙකක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව මේ යටතේ 2020 සිට ආනයන සීමා කිරීම්වලට යටත්වූ භාණ්ඩ කිහිපයක සීමා ඉවත්කිරීම සඳහා කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබුණි.

මේ අනුව භාවිත කරන ලද රෙදි පිළි (උණුසුම් රෙදි - warm cloth) අදියර වශයෙන් ආනයනය කිරීමටත්, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සහ අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන වාහන අමතර කොටස් ආනයනය කිරීමට හා 2010 අංක 14 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ බලපත්‍ර ලබා ගත් කැසිනෝ ශාලාවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාගැනීම සඳහා යෝජනා කර තිබුණි.

මෙහිදී කැසිනෝ උපකරණ මෙරටට ආනයනය කිරීමේදී එම උපකරණ මොනවාද යන්න සහ ඒ ආශ්‍රිත සියලු දත්ත හා තොරතුරු ශ්‍රී ලංකා රේගුව සතුව පවත්වා ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී

තවද මෙදින කාරක සභාවේදී සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව පසුබිම පිළිබඳවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ. මෙහිදී කාරක සභා සභාපතිවරයා අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරගැනීම මගින් රජයට අහිමිව යන විශාල බදු මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට ලැබෙන බව පැවසුවේය.

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 




සම්බන්ධිත පුවත්

2026-06-12

ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝ වේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝ වේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්කිරීම සඳහා  පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය  ලබාදී ඇත.ඒ  අනුව ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ  (යුනෙස්කෝ)  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පී. ආර්. එස්. එස්. ගුණරත්න මහතාගේ නාමයෝජනාවට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කාරක සභාවේ සාමාජික ගරු අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, රාමලිංගම් චන්ද්‍රසේකර්, ආචාර්ය උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිසාඩ් බදියුදීන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්,ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.


2026-06-11

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දී තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කාරක සභාව පසුගියදා (ජුනි 08) පාර්ලිමේන්තුවේදී රැස් විය.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ එම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර, මහ බැංකු නිලධාරීහු මෙම වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ තවත් වාර්තාවක්ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටියහ. ඒ අනුව මෙම වාර්තා දෙකම සලකා බැලීමෙන් අනතුරුව අවසන් වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. 


2026-06-09

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන, මුල්‍යමය වංචා සම්බන්ධයෙන් වන COPA වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් සිදුකරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහා වූ යෝජනාවට  පාර්ලිමේන්තුවේ  අනුමැතිය අද දින (ජුනි 09) හිමි විය.මෙම වාර්තාව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවල කරුණු ඇතුළත් වන අතර, එය 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව අදාළ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර, එම අමාත්‍යවරුන්ගේ පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කරුණු යළි සලකා බලන ලදී.එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි අනාවරණය වූ මූල්‍යමය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඒකමතිකව තීරණය කෙරිණි.ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව පාර්ලිමේන්තුව විසින් අද දින අනුමැතිය ලබාදෙන ලදී.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවක් මීට ඉහතදී මෙලෙස නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර නොතිබූනු අතර, එවැනි ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව විසින්  ගනු ලැබූ පළමු අවස්ථාව ද මෙය වෙයි.


2026-06-08

මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී ඇත. 2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරේ. මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ.එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් විය. වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී  නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු ( Telecom  Levy ) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවීය.එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී. එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරිණි.මේ අතර, මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සඳහා රජයේ ලාංඡනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් "Licensed" යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාව විමසූ අතර, අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බවයි.මෙම, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත  උපදෙස් ලබා දීමට කාරක සභාව තීරණය කරන ලදී.තව ද මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන හතරකට අදාළ නියෝග සලකා බැලූ අතර, ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවිය.ඒ අනුව, ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) සඳහා නව ජාතික උපබෙදුම් හඳුන්වා දීම පිළිබඳ නියෝග සලකා බැලිණි.තව ද, දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කොට 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීමට අදාළ නියෝග මෙහිදී සලකා බැලිණි. මෙම වෙනස්කම හේතුවෙන් ආනයන අවස්ථාවේදී ගෙවිය යුතු බදු ප්‍රමාණය ඉහළ ගිය ද, VAT බද්ද සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට එම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින්, ඔවුන්ට ඉන් සහනයක් සැලසෙන බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමට අදාළ නියෝගය ද මෙහිදී සලකා බැලිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks