04

E   |     |  

2025-06-06

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට ‘කෝප්’ කමිටුවෙන් නිර්දේශයක්

  • වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගන්න එපා  - කෝප් කමිටුව. 
  • විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ  සිදුවීම පිළිබඳව  කාරක සභාවේ අවධානය.
  • 2022 වසරේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර  ලබාදීලා. 
  • වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට අසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි වන්නේ නැහැ - විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්

 

ශ්‍රී ලංකා  සබරගමුව විශ්වවිද්‍යාලයේ  මතුව තිබෙන සියලු  දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) නිර්දේශ කරන ලදී. එහිදී  වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට  උපදෙස් ලබාදෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා  වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ  2023 මූල්‍ය  වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී  සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ  සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ  අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය. නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඒ මහතා පැවසුවේය.  එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ  බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව පාලනාධිකාරිය අතින්  යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම්  පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර   2022 වසරේදී ඉඹුල්පේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට  කොන්ත්‍රාත් කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීම පිළිබඳ  සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අභ්‍යන්තරව අවසර ලබා දුන්නද  පසුව එය වැරදි ක්‍රියාවක් යැයි  හැඟී යාමෙන් පසු  නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබා නොදුන් බව  විශ්වවිද්‍යාල බලධාරීහු මෙහිදී අදහස් දක්වමින්  පැවැසුහ. කෙසේ වෙතත්  2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙ‍ෙලස පස් කපාගෙන යාම සම්බන්ධව  විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ  පාලනාධිකාරිය දැනුවත් කලද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක්  ගොනු කර ඇත්තේ 2024 වසරේදී බව කාරක සභාවේදී අනාවරණය  විය.

මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු පෙන්වා දුන්නේ  සමස්ථයක්  ලෙස  වාර්ෂිකව විශ්වවිද්‍යාල  වරම් ලබන සිසුන්ගෙන් 7000කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ  ලියාපදිංචි නොවන බව  පැවසුහ. කෙසේ වෙතත්  වටකිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව  සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ ඒ අනුව රාජ්‍ය  විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම දැඩිව අවධානය යොමු කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය  කළේය.

තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුනත්  ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක්  ගැනීම හා පැති බැම්ම පුපුරා යමා ආදී  ගැටලු  රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින්  පෙන්වා දෙන ලදී. ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ( CECB ) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුනද ක්‍රීඩාපිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව   විගණනය විසින් පෙන්වා දෙන ලදී. ඒ හේතුවෙන්   ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය  හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද  කාරක සභාවේදී අනාවරණය විය.  

මේ සම්බන්ධව කරුණු විමසීමේදී  විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩාපිටියේ  වේයන්ගේ පස්  තැනින් තැන මතුවන බවයි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාරනොදීම පිළිබඳව විමසා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට  වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ  අධීක්ෂණ කටයුතු සිදුකිරීම  පිළිබඳවද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියේය. ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ  තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය  නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර  වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට බාර දී ඇති බව  කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර  විශ්වවිද්‍යාලයේ  කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක්  ඉදිකිරීමේදී  වැඩ  ඉංජිනේරුවරයාගේ සහතිකය මත  අදාළ  කොන්ත්‍රාත්කරු  ඉල්ලුම් නොකළ  ලක්ෂ 26කට අධික මුදලක්  ලබා දී ඇති බවද  මෙහිදී අනාවරණය විය.

එමෙන්ම  විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ  කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර,  ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන්ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබු අතර එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක්ද නිකුත් කර තිබුනත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබුණි.  

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක්  නැවත සිදු නොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා  ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබු නමුත් ඔහුද මාස 4කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී  ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම  සේවා පහසුකම් වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කලද  එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන්  ඉල්ලා අස්වීම පිළිබඳවද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගරු නීතිඥ දයාසිරි ජයසේකර, එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ,  සුදත් බලගල්ල, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-04-02

නීති විරෝධී බීඩි කොළ ජාවාරම පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවක්

නීතිවිරෝධී ලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන  ආදායම වැළැක්වීමට පියවර ගත යුතු අතරම, බීඩි කර්මාන්තයේ නියැලී සිටින අය ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතු බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කරන ලදී.පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන ලදී. බීඩි නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොළ ආනයනය කිරීමේදී බද්දක් අය කරන අතර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විශාල කොළ ප්‍රමාණයක් රට තුළට ගෙන එන බව ද කාරක සභාවේදී  අනාවරණය විය. මෙය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, නීති විරෝධී බීඩි කොළ හේතුවෙන් රජයට ලැබිය යුතු  බදු ආදායමට බලපෑම් එල්ල වී ඇති බව නිලධාරීහු  පෙන්වා දුන්හ.නීති විරෝධී බීඩි කොළ ජාවාරම වැළැක්වීම සඳහා අනුගමය කළයුතු විවිධ ක්‍රම පිළිබඳව කාරක සභාවේදී  දීර්ඝ ලෙස  සාකච්ඡා කරන ලදී. කර්මාන්තයේ නියැලී සිටින අය නීති විරෝධී ලෙස බීඩි කොළ රට තුළට  ගෙන ඒම වැළැක්වීමේ  අවශ්‍යතාවය ද  කාරක සභාව අවධාරණය කරන ලදී.ඊට අමතරව, නීති විරෝධී බීඩි කොළ භාවිතා කරමින් බීඩි කර්මාන්තයේ නියැලෙන අයගෙන් රජයට ලැබිය යුතු බදු අය කර ගැනීමට නොහැකි බැවින්, මෙය වැළැක්වීමට සහ රජයට සුදුසු බදු ආදායමක් උපයා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කාරක සභාව  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ, එරංග වීරරත්න, නිශාන්ත ජයවීර, චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, (ආචාර්ය) නන්දන මිල්ලගල, තිළිණ සමරකෝන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, දේශීය අදායම් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා පොලිසිය සහ නාවික හමුදාවේ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ. 


2026-04-02

අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් කාරක සභාව පසුගියදා (මාර්තු 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) එච්.එස්.එස්. තුයියකොන්තා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එල්. මොහොමඩ් නවාවි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල යන මහත්ම මහත්මීන්ගේ  පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබේ.


2026-03-31

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධ්‍යනය සඳහා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ  ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, 2026 මාර්තු 22 සිට 27 දක්වා නවදිල්ලි සහ මුම්බායි හි  අධ්‍යයන සංචාරවල නිරත වූහ.ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට, විපක්‍ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, කේ. ඉලන්කුමාරන්, චතුර ගලප්පත්ති,  රවීන්ද්‍ර බණ්ඩාර,  අසිත නිරෝෂණ එගොඩ විතානගේ,  ශාන්ත පත්ම කුමාර සුබසිංහ,  නීතිඥ ගීතා හේරත්, කින්ස් නෙල්සන් , ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ. තවද, ආංශික අධීක්ෂණ කාරක සභා කාර්යාලයට අනුයුක්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන, ප්‍රධාන නිලධාරිනී  එස්. ඩබ්ලිව්. ටී. ආර්. ද සිල්වා  සහ පාර්ලිමේන්තු නිලධාරිනී  ඩබ්ලිව්. කේ. ඒ. එම්. එම්. එම්.  අර්ථනායක  යන මහත්ම  මහත්මීහුද  මෙම සංචාරයට එක්ව සිටියහ.නියෝජිත කණ්ඩායම 2026 මාර්තු 22 වන දින නව දිල්ලි නගරයට පැමිණි අතර, ඊළඟ දින සිට නිල කටයුතු ආරම්භ කළේය. මෙම වැඩසටහන තුළ ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හමුවක් සහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ප්‍රේර්නා ස්ථල් හිදී පුෂ්පෝපහාරයක් සිදුකිරීම ද ඇතුළත් විය. එමෙන්ම, නියෝජිත කණ්ඩායම හා  ලෝක් සභාවේ ගරු  කථානායක ඔම් බිර්ලා මහතා අතර  හමුවක්ද  පැවැත්විණි.තවද ඉන්දීය පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිවාරයක් පැවැත්වූ අතර, එමඟින් ආයතනික ව්‍යුහයන් සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්  පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී. එමෙන්ම , නියෝජිත කණ්ඩායම ප්‍රවාහන, සංචාරක හා සංස්කෘතිය  පිළිබඳ ස්ථාවර  කාරක සභාව සහ  නිවාස හා නාගරික කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව සමඟද මෙම නියෝජිත පිරිස ඵලදායී සාකච්ඡාවල නිරත වුහ.2026 මාර්තු 24 වන දින, නියෝජිත කණ්ඩායම තාක්ෂණික හා ප්‍රතිපත්තිමය කටයුතු කේන්ද්‍රකරගත් වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අතර, එයට ඉන්දියාවේ “PM Gati Shakti” ජාතික ප්‍රධාන සැලැස්ම පිළිබඳ සැසිවාරයක්ද ඇතුළත් විය. එමෙන්ම  ජාතික මහාමාර්ග අධිකාරියේ සහ ඉන්දීය සූර්ය බලශක්ති සංස්ථාව යන ආයතනයන් වලද සංචාරය සිදුකළ අතර ඉන්දියානු කර්මාන්ත සම්මේලනය සමඟද සාකච්ඡා පැවැත්විණි. තවද ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නියෝජිත පිරිස ඉන්දියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡාවල නිරත වූහ.2026 මාර්තු 25 වන දින නියෝජිත කණ්ඩායම නාගරික සංක්‍රමණ පද්ධති සහ පොදු ප්‍රවාහනයේ වඩාත් නිවැරදි භාවිතයන් අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිස දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාවේ සංචාරය කළහ. ඉන් අනතුරුව, නව දිල්ලි මහ නගර සභාව සමඟ Smart City ආරම්භක වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී නගර පාලනය, ඩිජිටල් මූලික ව්‍යුහයන් සහ තිරසර නාගරික  සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලදී. තවද, ජල් ශක්ති අමාත්‍යාංශයට අයත් “Jal Jeevan Mission” වැඩසටහනේ නිලධාරීන් සමඟ හමුවක් පැවැත්වූ අතර,  මහා පරිමාණ ජල සැපයුම් කළමනාකරණය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කරන ලදී.මුම්බායි නගරයේ  පැවැත්වූ වැඩසටහන යටතේ, අටල් සේතු පාලම, ජවහර්ලාල් නේරු වරාය සහ නවී මුම්බායි ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් හා සංවර්ධන ස්ථාන වල  නියෝජිත පිරිස  සංචාරය  කළහ. තවද, නියෝජිත කණ්ඩායම Power Exchange India Limited වෙත සංචාරය කිරීමෙන් අනතුරුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගරු ප්‍රධාන අමාත්‍යවරයා  හමුවුහ.2026 මාර්තු 27 වන දින, නියෝජිත පිරිස Gateway of India සහ Elephanta Caves ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල සංචාරය කළහ. තවද  නියෝජිත පිරිස  මහාරාෂ්ට්‍ර විධන් සභාවේ ගරු කථානායකවරයා  සහ  ආයෝජන ප්‍රවර්ධනය සහ කර්මාන්ත අංශයන්හි  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.මෙම පාර්ලිමේන්තු අධ්‍යයන සංචාරයට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සහභාගී වීම ඔස්සේ, ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ අඛණ්ඩ පාර්ලිමේන්තු සහයෝගීතාව තුළින් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය ක්ෂේත්‍රයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ වඩාත් නිවැරදි භාවිතයන් ඉදිරියට ගෙන යාමට  ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කෙරිණි.


2026-03-30

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට...

2026 ජනවාරි 06 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අදාළ කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු ද සලකා බැලේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම ද සිදු කරන ලදි.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, චන්දන සූරියආරච්චි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks