logo

E   |     |  

2025-06-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104 % ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවුනා - සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීහු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පවසති

  • දියුණු රටක් කරා යන ගමනේ සංධිස්ථානයකයි අප සිටින්නේ - ජනතාවගේ බදු මුදල් රුපියලක්වත් නාස්ති නොකර සංවර්ධනයට යොදවනවා -  නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි
  • QR කේතයක් මගින් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගැනීමේ නව වැඩපිළිවෙලෙහි ප්‍රගතියත් විමසයි - නව ක්‍රමය හදුන්වාදීමෙන් පසු කිසිදු ව්‍යාජ ස්ටිකරයක් හමු වී නැති බව නිලධාරිහු පවසති

 

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් 2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් (බිලියන 98ක්)  උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේ  පසුගියදා (ජුනි 06) පැවසූහ.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීම‍ට අපේක්ෂා කරන බව  ඔවුහු වැඩිදුරටත් පැවසූහ. පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. 

නව රජය බලයට පත්වීමත් සමග නීති විරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීහු සඳහන් කළහ.  

මුදල් සහ ක්‍රම සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන්  2025.06.06 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය. සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය  ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභාව රැස්විණි.

මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා (App) ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හදුනා ගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විමසා සිටියේය. එම වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරිහු පැවසූහ. 2024 අග භාගයේදී හදුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු, මීට පෙර සිදු වූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම් වලදී හමු වී නැති බවත් නිලධාරීහු සඳහන් කළහ. මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි සීමාවී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙල ඉදිරියේදි සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.   

එසේම මෙම නව ක්‍රමවේදය මගින් සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසැල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේද යන්න හදිසි වැටලීම් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට අවධාරණය කරන ලදී.

සුරාබදු පනතේ පවතින අඩුලුහුඩුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙන ලදී. 

මත්පැන් මිල ඉහළයාම නිසා නීති වීරෝධි මත්පැන් පරිභෝජනය වැඩිවීම සිදුවන බැවින් ඊට විසදුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

දියුණුව කරා යන ගමනේදී මේ වන විට  ශ්‍රී ලංකාව සංධිස්ථානයක පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා , බදු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා සෑම පුරවැසියෙක්ම සම්බන්ධ විය යුතු බවත් එසේ එක්රැස්කරන බදු රුපියලකුදු නාස්ති නොකර රටේ සංවර්ධනය සඳහා යොදවන  බවත් අවධාරණය කළේය. 

ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන  චතුරංග අබේසිංහ, එරංග වීරරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අසෝක සපුමල් රන්වල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා සහ  නීතිඥ හසාරා ලියනගේ යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-07-16

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 - 2024 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය "කෝපා" කමිටුවේ අවධානයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ද, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි, වෛද්‍ය ජනක සේනාරත්න සහ සුනිල් රත්නසිරි යන මහත්වරු ද සහභාගි වූහ.


2026-07-16

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරිණි.ඒ, තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ හයවන රැස්වීම ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.මෙහිදී ජාතික තාරුණ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තාරුණ්‍යයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිපත්තියට ඇතුළත් කර ගැනීම සඳහා සංසදයේ සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට ද අවධානය යොමු කෙරිණි.තරුණ ප්‍රජාවගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස එක්කර ගැනීම සඳහා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංසදය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය. 


2026-07-16

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභා වාර්තාවට අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී.ඒ, ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මෙහිදී අනු කාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උක්ත වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඒකී වාර්තාවට ඇතුළත් වේ.ඉන් අනතුරුව වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳව කාරක සභාවේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා විමසා බැලූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව එම වාර්තාව සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.


2026-07-16

බන්ධනාගාර තදබදය අවම කිරීම සහ පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර  ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේදී රැස් වූ  රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදි කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කෙරිණි.මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය.බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට  ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර,  කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, නීතිඥ තුෂාරි ජයසිංහ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මෙන්මගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන් සහ නීතිඥ  චිත්‍රාල් ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීහු සහභාගි  වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks