E   |     |  

2025-05-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

  • හානිපූර්ණය සඳහා වන කාර්යාලය විසින් 2023 වර්ෂයේදී වන්දි ලබාදීම පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කැඳවයි.
  • රාජ්‍ය ආයතන 3ක වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය.

 

2025.05.23 දින (අද) දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

‍මෙහිදී අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙම පනත් කෙටුම්පතෙහි අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලි කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ අධිකරණ භූමිය වෙත සැකකරුවන් නොගෙන්වා සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදාගනිමින් ඔවුන් සම්බන්ධ කරගැනීම සහ විද්‍යුත් තැපෑල මගින් සාක්ෂිකරුවන් වෙත සිතාසි යැවීමට මෙමගින් අවස්ථාව ලැබෙන බවයි. මේ අනුව චූදිතයන් අධිකරණ භූමියට පැමිණීමේදී ඇති වන ජීවිත තර්ජන අවම කරගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට මේ මගින් හැකි වන බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන්හ. අනතුරුව මෙම පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.

එසේම මෙහිදී ශ්‍රී ලංකා විනිශ්චයකාරයවරුන්ගේ ආයතනයේ 2022 සහ 2023 වර්ෂවල, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2021 සහ 2023 වර්ෂවල සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2022 සහ 2023 වර්ෂවල වාර්ෂික වාර්තා සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.  

මෙහිදී හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ 2021, 2022 හා 2023 වාර්ෂ වල වාර්ෂික වාර්තා සලකාබලන ලද අතර ඔවුන් විසින් වන්දි ලබාදීමේදී 2023 වර්ෂයේ ඉල්ලුම්කළ අයට වන්දි ගෙවීමට ප්‍රමුඛත්වයක් ලබාදී තිබීම මෙහිදී කමිටුවේ වැඩි අවධානයට යොමු විය. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2023 වර්ෂයට පෙර වන්දි දිය යුතු පිරිසට ලබා දී ඇත්තේ අඩු ප්‍රමුඛත්වයක් බවයි. මෙහිදී මන්ත්‍රීවරයන් වෙනුවෙන් සිදු වූ අලාභහානි සඳහා වන්දි ගෙවා ඇත්දැයි කාරක සභාව අදාළ නිලධාරීන්ගෙන් විමසූ අතර ඔවුන් පෙන්වා දුන්නේ මෙම වන්දී ලබාදි ඇත්තේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පමණක් බවයි. එසේ පුද්ගලයන් 142ක් වෙනුවෙන් රුපියල් මිලියන 753ක් ගෙවා ඇති බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව මෙම වන්දි ලබාදි ඇති පුද්ගලයන්, ගෙවූ මුදල සහ මුදල් ගෙවූ දින සහිත සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙස කාරක සභාව නියෝග කළ අතර මෙම වාර්තා ලැබීමෙන් පසු  එම  වාර්ෂික වාර්තාව නැවත සලකා බැලීමට තීරණය විය.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, සෙල්ලතම්බි තිලකනාදන් සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මියන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ. එසේම කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය සහිතව කාරක සභාවේ සාමාජික නොවන ගරු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් සහ (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහත්වරුන්ද රැස්වීමට සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-06-11

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දී තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කාරක සභාව පසුගියදා (ජුනි 08) පාර්ලිමේන්තුවේදී රැස් විය.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ එම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර, මහ බැංකු නිලධාරීහු මෙම වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ තවත් වාර්තාවක්ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටියහ. ඒ අනුව මෙම වාර්තා දෙකම සලකා බැලීමෙන් අනතුරුව අවසන් වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. 


2026-06-09

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන, මුල්‍යමය වංචා සම්බන්ධයෙන් වන COPA වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් සිදුකරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහා වූ යෝජනාවට  පාර්ලිමේන්තුවේ  අනුමැතිය අද දින (ජුනි 09) හිමි විය.මෙම වාර්තාව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවල කරුණු ඇතුළත් වන අතර, එය 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව අදාළ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර, එම අමාත්‍යවරුන්ගේ පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කරුණු යළි සලකා බලන ලදී.එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි අනාවරණය වූ මූල්‍යමය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඒකමතිකව තීරණය කෙරිණි.ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව පාර්ලිමේන්තුව විසින් අද දින අනුමැතිය ලබාදෙන ලදී.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවක් මීට ඉහතදී මෙලෙස නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර නොතිබූනු අතර, එවැනි ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව විසින්  ගනු ලැබූ පළමු අවස්ථාව ද මෙය වෙයි.


2026-06-08

මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී ඇත. 2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරේ. මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ.එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් විය. වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී  නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු ( Telecom  Levy ) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවීය.එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී. එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරිණි.මේ අතර, මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සඳහා රජයේ ලාංඡනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් "Licensed" යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාව විමසූ අතර, අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බවයි.මෙම, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත  උපදෙස් ලබා දීමට කාරක සභාව තීරණය කරන ලදී.තව ද මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන හතරකට අදාළ නියෝග සලකා බැලූ අතර, ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවිය.ඒ අනුව, ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) සඳහා නව ජාතික උපබෙදුම් හඳුන්වා දීම පිළිබඳ නියෝග සලකා බැලිණි.තව ද, දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කොට 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීමට අදාළ නියෝග මෙහිදී සලකා බැලිණි. මෙම වෙනස්කම හේතුවෙන් ආනයන අවස්ථාවේදී ගෙවිය යුතු බදු ප්‍රමාණය ඉහළ ගිය ද, VAT බද්ද සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට එම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින්, ඔවුන්ට ඉන් සහනයක් සැලසෙන බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමට අදාළ නියෝගය ද මෙහිදී සලකා බැලිණි.


2026-06-08

අනුරාධපුර ළමා අපයෝජන සිදුවීමේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස් වෙයි

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව  සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේදී රැස් විය. එම සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි.එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශනවලදී  අධිකරණ නියෝගවලට අනුවම කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදි. එමෙන්ම, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි. වින්දිත දැරිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුරයට අමතරව අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල ද අධිකරණ නඩු කටයුතු සිදු වන බැවින් එම නඩු කටයුතු අධීක්ෂණය සඳහා ද ජාතික ළමා  ආරක්ෂක අධිකාරියේ මැදිහත් වීමක් සිදු කරන ලෙස සංසදය විසින් උපදෙස් ලබා දෙන ලදී. මෙම නඩු කටයුතු ත්‍රිත්වයටම සම්බන්ධ වීම නිසා වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.එමෙන්ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදු කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි. වින්දිත දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.එසේම, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊට අදාළ මැදිහත් වීම ඉදිරියේදී සිදු කිරීමට ද එකඟතාව පළ කළේය.තව ද, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මත මාධ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් සකස් කළ යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව මැදිහත් වීමටත් තීරණය විය.ළමා අපයෝජන නඩු කටයුතුවලදි  මතු වන  නීතිමය සහ ප්‍රායෝගික බාධා මගහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි  කටයුතු සිදු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වන ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතීඥ) හසාරා ලියනගේ, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර සහ (නීතීඥ) සාගරිකා අතාවුද යන මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතීඥ) තුෂාරි ජයසිංහ සහ (නීතීඥ) අනුෂ්කා තිලකරත්න  යන මහත්මීහු මාර්ගගත තාක්ෂණය ඔස්සේ (online) රැස්වීමට සම්බන්ධ වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks