පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-05-21
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2023 අංක 34 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය සඳහා ඉදිරිපත්කරනු ලබන යෝජනා සම්මතයන් දහයක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (මැයි 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම අත්තිකාරම් ගිණුම් සඳහා 2024 වර්ෂයට අදාළව සීමාවන් නියම කර ඇති අතර අදාළ වර්ෂය තුළදී උද්ගතවන අවශ්‍යතාවයන් අනුව නියෝගයක් මගින් විසර්ජන පනත යටතේ ලබා දී ඇති අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරී තිබෙන බව සංශෝධනයට අදාළව කරුණු දක්වමින් නිලධාරීහු කාරක සභාවට පැවසූහ. එමෙන්ම මෙම සංශෝධන සීමාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමතිය ලබාගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම්වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීම සඳහා වූ අත්තිකාරම් ගිණුම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අතිකාරම් ගිණුම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගබඩා අත්තිකාරම් ගිණුම (පුපුරණ ද්‍රව්‍ය), බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්මික හා කෘෂිකාර්මික කටයුතු අත්තිකාරම් ගිණුම, ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගන්නා ලද හා රාජසන්තක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ අත්තිකාරම් ගිණුම, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ විවිධ අත්තිකාරම් ගිණුම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ ගබඩා අත්තිකාරම් ගිණුම හා කළ වැඩ අත්තිකාරම් ගිණුම සහ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් " බී " ගිණුම සංශෝධනය සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම්වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීම සඳහා වූ අත්තිකාරම් ගිණුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා දුෂණය මැඩපැවැත්වීම සඳහා ගනුලබන ඕනෑම කාර්යයකදී රජයේ මුදල් කාරක සභාවේ අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබාදෙන බව පැවසීය.
තවද ශ්‍රී ලංකා රේගුවේ අත්තිකාරම් ගිණුම කාරක සභාවේ සාකච්ඡාවට ගත් අවස්ථාවේ මෝටර් රථ ආනයනය සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් සිදුකළේය. එහිදී ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා අයකරනු ලබන බදු සම්බන්ධයෙන් නිලධාරිගෙන් විමසා සිටියේය. ලියාපදිංචි නොකළ සහ සහ කෙටි දුර ප්‍රමාණයන් ධාවනය කර ඇති වාහන වෙනුවෙන් අයකරනු ලබන එකතු කළ අගය මත බද්දේ (VAT) අදායම නිසියාකාරව ලැබෙනවා ද සහ එම බදු අයකිරීම් සමබර ද යන්න කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් විමසා සිටියේය.
ඒ අනුව ලියාපදිංචි නොකළ සහ කෙටි දුරක් හෝ ධාවන කළ වාහන (used vehicle) සඳහා අය කරන බදු වල වෙනසක් පවතින බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. වාහන ආනයනය මගින් විශාල බදු අදායමක් ආණ්ඩුව බලාපොරොත්තු වන හෙයින් මේ තත්ත්වය යටතේ වාහන ආනයනයෙන් විශාල බදු අදායමක් රටට අහිමි වන බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ආනයනය කර තිබෙන භාවිතා කළ වාහන වල අහඹු නියැදියක් ගෙන ඒවායෙන් ලබාගත් බදු මුදල් සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2026-05-15
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, මේ මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කාන්තා සවිබල ගැන්වීම, පාර්ලිමේන්තු කටයුතු, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයට ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණයි.නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටා ඇති මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර, ලෝක් සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා සමඟද සාකච්ඡා පැවැත්වූහ. එහිදී දෙපාර්ශ්වයම අන්තර්-පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.නියෝජිත පිරිස ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරිය ගරු අන්නපූර්ණා දේවී මහත්මිය සමග කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන්, ළමා සුභසාධනය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදී ප්‍රතිපත්ති සහ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.මෙම නියෝජිත පිරිස දිල්ලි පොලිස් කොමසාරිස්වරයාද හමුවී, කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීම සහ ඒවාට මුහුණ දීමේදී අනුගමනය කරන හොඳම ක්‍රමවේද හා උපාය මාර්ග පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. එහිදී විශේෂයෙන් කාන්තා හා ළමා ආරක්ෂාව, ආරක්ෂණ යාන්ත්‍රණ, නීතිමය බලාත්මක කිරීම සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.නියෝජිත පිරිස, කාන්තා නායකත්වයෙන් යුත් ස්වයං සහාය කණ්ඩායම් (Self-Help Groups) සමඟ මෙන්ම ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ කාන්තා සංවිධානයේ (FICCI FLO) නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වූහ.සංචාරය අතරතුර, නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය (PRIDE) විසින් සංවිධානය කරන ලද පුළුල් වැඩසටහනකට සහභාගී වෙමින් සිටී. මෙම වැඩසටහනට ඉන්දියානු පාර්ලිමේන්තු ක්‍රමය, කමිටු පද්ධතිය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම පිළිබඳ සැසි මෙන්ම කාන්තා නායකත්වයෙන් යුතු සංවර්ධන වැඩසටහන් සහ කාන්තාවන් හා ළමුන් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඉන්දියාව විසින් අනුගමනය කරන හොඳම ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාද ඇතුළත් වේ.ඉදිරි දිනවලදී නියෝජිත පිරිස නවදිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රා නගරයේ පිහිටි ටාජ් මහල්, අග්‍රා කොටුව ඇතුළු වැදගත් සංස්කෘතික හා ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමටද නියමිතය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මඟින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් භූමිකාවක් අඛණ්ඩව ඉටු කරමින් සිටී.මෙම සංචාරය සඳහා රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ ඒ.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවෙල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වී සිටිති.නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන සහකාර ප්‍රධාන නිලධාරී හෂ්මි ප්‍රනාන්දුපුල්ලේ, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු පරිවර්තක චමිලා නිස්සංගා සහ ජ්‍යෙෂ්ඨ සහකාර පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර යන මහත්ම මහත්මින්ද සහභාගී වූහ.
2026-05-15
රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි - රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන් අමතමින් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කරයිරජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන් අමතමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගියදා අවධාරණය කළේය. රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණනය සහ මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) අනුග්‍රහයෙන් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සංවිධානය කළ වැඩමුළුවක් අමතමින් කෝප් කමිටු සභාපතිවරයා මේ බව පවසා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා, රජය සතු ව්‍යපාර ක්ෂේත්‍රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය. සියලු රජය සතු ව්‍යාපාර ප්‍රධානීන් මීට පෙර කැඳවා සාර්ථක වැඩමුළුවක් පැවැත්වීමට හැකි වූ බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා, මූල්‍ය විනය සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙලෙස සියලු ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සිදු කිරීමට තීරණය කළ බවත් පවසා සිටියේය. එසේම රජය සතු ව්‍යාපාර ආයතන 457ක් පවතින නිසා එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගිකව අපහසු බැවින් එම ආයතනවල කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. "රාජ්‍ය විගණනය සහ රාජ්‍ය ආයතනවල කාර්යභාරය, වගකීම් හා සහයෝගීතාව" පිළිබඳ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය මෙහිදී සිය දේශනය ඉදිරිපත් කළාය. රජය සතු ආයතනයන්හි අරමුදල්වල හිමිකරුවන් මහජනතාව බැවින් ඒවා මහජනතාව වෙනුවෙන් නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ඒ සඳහා නිසි මූල්‍ය විනයක් සහ අභ්‍යන්තර විගණනයක් පවත්වා ගනිමින් රාජ්‍ය විගණනයට සහය ලබාදිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය මහතා විසින් “ජනතාවට වගවීම තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය” පිළිබඳව සහ හිටපු විගණකාධිපති, කෝප් සහ කෝපා කමිටුවල උපදේශක සරත් මායාදුන්නේ මහතා විසින් “ජනතාවට වගවීම කෙරෙහි රජය සතු ව්‍යාපාරවල කාර්යභාරය” පිළිබඳව දේශන ඉදිරිපත් කරන ලදී. රජය සතු ව්‍යාපාර ආයතනවල නිලධාරීන්ට සිය විෂයට අදාළව ප්‍රශ්න විමසීම සඳහා ද මෙහිදී අවකාශය සැලසිණි. අභ්‍යන්තර විගණක තනතුර අදාළ ආයතනයේ ප්‍රධානියා යටතට පත් කිරීම වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තා කරනු ලබන වඩාත් ස්වාධීන තනතුරක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා සහ රජය සතු ව්‍යාපාර ආයතන 300කට ආසන්න ප්‍රමාණයක අභ්‍යන්තර විගණන නිලධාරීහු සහ මූල්‍ය අංශයේ ප්‍රධානීහු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.
2026-05-08
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ දරුවන්ට සහාය වීම පිණිස, “ලිට්ල් රූට්ස්” (Little Roots) දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල පසුගියදා (මැයි 06) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිරය” පරිශ්‍රයේ දී නිල වශයෙන් විවෘත කෙරිණි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉල්ලීමක් මත සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ප්‍රදානය කරන ලද චීන යුවාන් 1,000,000 ක පරිත්‍යාගය යොදා ගනිමින් මෙම “ලිට්ල් රූට්ස්” (Little Roots) නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ඉදි කොට තිබේ. දෙමාපියන් තම වෘත්තීය වගකීම් ඉටු කරන අතරතුර දරුවන්ගේ අධ්‍යාපනයට සහ මුල් ළමාවිය සංවර්ධනය කිරීමට අවශ්‍ය ආරක්ෂිත සහ උත්තේජක පරිසරයක් සැපයීම මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල පිහිටුවීමේ අරමුණයි.“ලිට්ල් රූට්ස්” (Little Roots) දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන ආයතනයන්හි සමූහ ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරිණි. මෙහි මුල් අදියරේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා විවෘත වන අතර ඉදිරියේදී එය අනෙකුත් ආයතන දක්වා වඩාත් පුළුල් කිරීමට අපේක්ෂිත ය. මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් ගරු අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, කෘෂිකර්ම ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනි සමන්මලී ගුණසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් සංස්කෘතික කටයුතු භාර උපදේශක ජි ලිලී (Ji Lili )තෙවන ලේකම් ජියැං චැං (Jiang Chang) පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ. මෙයට අමතරව පාර්ලිමේන්තු නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දෙමව්පියන් සහ දරු දැරියන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-04-29
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කැඳවා තිබිණි.එම කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු කෙරිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු එම ආයතනවල ජේෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. ස්වාභාවික ආපදා අවස්ථාවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී කාරක සභාව විසින් කරුණු විමසන ලදී.එසේම පවතින යාන්ත්‍රණයේ අඩුලුහුඩුකම් සහ අදාළ තාක්ෂණික උපාංගවල අඩුපාඩු පිළිබඳව ද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ. එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ද ඉදිරියේදී කාරක සභාව හමුවට කැඳවා එම ආයතන ද මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසීමටත්, අනතුරුව මෙම ආයතන වෙන් වෙන් වශයෙන් කැඳවා දිට්වා සුළි කුණාටුවට සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විමරශනය කිරීමටත් මෙහිදී තීරණය විය. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ඇන්ටන් ජයකොඩි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks