පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-04-23
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (අප්රේල් 23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කරන ලදි.
කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිත අතර මෙම පරීක්ෂණ කමිටුව ශ්රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත වේ.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්රකාරව විෂමාචාරය සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2026-10-27
ශ්රී ලංකාවේ, කටාර් රාජ්ය තානාපති, ගරු හමාඩ් බින් මොහොමඩ් අල්-දෝසාරි (H.E Hamad bin Mohammed Al-Dosari) මහතා, ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 23) හමුවිය. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් තහවුරු කරමින්, දෙරට අතර සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇති කැපවීම අවධාරණය කෙරිණි.මෙම වසරේදී ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 50ක් සපිරීම ද මෙහිදී සිහිපත් කෙරිණි. දෙරට අතර පවතින මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේම ජනතාවගේ යහපත උදෙසා සහයෝගීතාව පුළුල් කර ගැනීමටත්, නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමත් දෙපාර්ශ්වයම අවධාරණය කළහ.තානාපතිවරයා පිළිගත් ගරු කථානායකවරයා, ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර පවතින ශක්තිමත් හා සුහද සබඳතා අවධාරණය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වර්ධනය කිරීම සඳහා ඉහළ මට්ටමේ රාජ්ය තාන්ත්රික හමුවීම් පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්නේය. දෙරට අතර මෑතකදී සිදු වූ ඉහළ පෙළේ සංචාර සිහිපත් කළ කථානායකවරයා, එමගින් අන්යෝන්ය අවබෝධය ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමට විශාල දායකත්වයක් ලැබුණු බව සඳහන් කළේය.කටාර් රාජ්යයේ සේවය කරන ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ වටිනා දායකත්වය ද කථානායකවරයා මෙහිදී අගය කළේය. විශේෂයෙන්ම කටාර් රාජ්යයේ සංවර්ධනයට ඔවුන් ලබා දෙන දායකත්වය මෙන්ම විදේශ ප්රේෂණ හරහා ශ්රී ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ද කථානායකවරයා පෙන්වා දුන්නේය. ශ්රී ලංකාව වෙත කටාර් රාජ්යය ලබා දෙන සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ කථානායකවරයා, දෙරටේම අන්යෝන්ය යහපත උදෙසා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.ජාත්යන්තර හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තු රාජ්යතාන්ත්රික සබඳතාවල වැදගත්කම පෙන්වා දුන් ගරු කථානායකවරයා, ශ්රී ලංකා - කටාර් පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයක් පිහිටුවීමට ශ්රී ලංකාවේ සූදානම ද ප්රකාශ කළේය. එමඟින් දෙරටේ පාර්ලිමේන්තු අතර සංවාදය, අත්දැකීම් හා යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම අන්යෝන්ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව ද ගරු කථානායකවරයා පැවසුවේය.විශ්වාසවන්ත මිතුරකු සහ හවුල්කරුවකු ලෙස ශ්රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට කටාර් රාජ්යය කැපවී සිටින බව තානාපති අල්-දෝසාරි මහතා මෙහිදී යළි තහවුරු කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ ජනතාව අතර පවතින සබඳතා වඩාත් සමීප කර ගැනීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කළේය. එමෙන්ම, සංචාරක, වෙළෙඳ හා ආයෝජන ඇතුළු දෙරටටම වැදගත් වන ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද තානාපතිවරයා පෙන්වා දුන්නේය.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය දෙරටේම ජනතාවට ප්රායෝගික ප්රතිලාභ අත්කර දෙන අයුරින් ඉදිරියට ගෙන යාම සඳහා නව සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමටත්, පවතින හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් දෙපාර්ශ්වය සිය කැපවීම යළි තහවුරු කළහ.මෙම සංචාරය අතරතුරදී තානාපති අල්-දෝසාරි මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වාස්තු විද්යාත්මක වටිනාකම සහ ඒ අවට පරිසරයේ ස්වාභාවික සුන්දරත්වය පිළිබඳව සිය ප්රසාදය පළ කළේය. එසේම, ඒ මහතා පාර්ලිමේන්තු පරිශ්රයේ චාරිකාවකට ද එක්විය.
2026-10-27
දේශපාලන නායකයන් දූෂණයෙන් තොර, අවංක පුද්ගලයන් විය යුතු යැයි සමාජය අපේක්ෂා කරන්නේ නම්, එවැනි නායකත්වයක් බිහිවීම සඳහා සමස්ත සමාජය තුළ ද අවංකභාවය හා සදාචාරාත්මක වටිනාකම් තහවුරු විය යුතු බව ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතා පැවසීය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ශාලාවේදී පසුගියදා පැවති වැල්ලවත්ත සෛව මංගයර් විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් නියෝජ්ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.රටේ දේශපාලනඥයන් තෝරා පත් කර ගනු ලබන්නේ සමාජයෙන්ම බව පෙන්වා දුන් ඒ මහතා, අනාගත නායකයන් වන ශිෂ්ය ප්රජාව පාසල් අවධියේ සිටම අවංකභාවය, සදාචාරාත්මක වටිනාකම් සහ වගකීම්සහගත හැසිරීම ප්රගුණ කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.වැල්ලවත්ත සෛව මංගයර් විද්යාලයේ ශිෂ්යාවන්ට පාර්ලිමේන්තු ක්රියාපටිපාටි පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් එම විද්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙහිදී ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් (ජනාධිපති අරමුදල) සුභාෂ් රෝෂන් මහතා විසින් ජනාධිපති අරමුදල හරහා සිසුන්ට සහ මහජනතාවට ලබා දෙන සේවාවන් පිළිබඳව පැහැදිලි කරන ලදී.කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ආ. සර්වේෂ්වරන් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාව පිළිබඳව සිසුන් දැනුවත් කළේය. එමෙන්ම, පාර්ලිමේන්තුවේ ප්රධාන නිලධාරී ටී.එන්.එම්.පී. ෂහීඩ් මහතා විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එහි ක්රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කථානායකවරයා තෝරා පත් කර ගැනීම සහ මන්ත්රීවරුන් දිවුරුම් දීම සමඟ ආරම්භ විය. අනතුරුව, ශිෂ්ය පාර්ලිමේන්තුවේ අමාත්යවරුන් විසින් තම අමාත්යාංශ යටතේ පාසල තුළ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ යෝජනා සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූහ.මෙම වැඩසටහනට සහභාගී වූ ශිෂ්ය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට විශේෂ ආරාධිත අමුත්තන් විසින් සහතිකපත් ප්රදානය කරන ලදී. වැල්ලවත්ත සෛව මංගයර් විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය සින්දූරි පද්මරාජ් මහත්මිය ස්තුති කථාව සිදු කළාය.ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව ක්රියාත්මක කරනු ලබන අඛණ්ඩ ශිෂ්ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.මෙම අවස්ථාවට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල යන මහත්වරුන් මෙන්ම, වැල්ලවත්ත සෛව මංගයර් විද්යාලයේ විදුහල්පති අරුණ්ධතී රාජවිජයන් මහත්මිය වෙනුවෙන් නියෝජ්ය විදුහල්පති මලර්විළි ශ්රීකුමාර් මහත්මිය, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-10-23
‘ප්රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්යාපාරය සඳහා වෙන් කරන ලද රු.මිලියන 25,000 ක ප්රතිපාදන මගින් රු.මිලියන 23,000 ක් දිස්ත්රික් පදනමින් ප්රජා සංවර්ධන සභා මගින් හඳුනාගනු ලබන ව්යාපෘති සඳහා වෙන් කර ඇති බවත්, ඉතිරි රු.මිලියන 2,000 න් ජාතික මට්ටමින් හඳුනාගනු ලබන මධ්ය පරිමාණ ව්යාපෘති ක්රියාත්මක වන බවත් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරෙහි සඳහන් වෙයි.ගරු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්යවරයා විසින් ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. එම සභාගත කළ පිළිතුරට අනුව, ප්රජා ශක්ති ජාතික ව්යාපාරය යටතේ රු.මිලියන 24,221.38 ක ව්යාපෘති 15,725 ක් ආරම්භ කර ඇති අතර ඉන් ව්යාපෘති 15,316 ක් ජීවනෝපාය සංවර්ධනය යටතේ ද, 273 ක් අධ්යාපනය යටතේ ද සහ 136 ක් සෞඛ්ය යටතේ ද ක්රියාත්මක වෙයි. මෙම සියලුම ව්යාපෘති 2026.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.ග්රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්රජා සංවර්ධන සභා මගින් ඒ ඒ දිස්ත්රික්කවල සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් බහුමාන දරිද්රතාවය තුරන් කිරීම සඳහා ඍජුවම අදාළ වන ව්යාපෘති හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය මෙන්ම සැපයුම් ජාල සහ ප්රවේශය යටතේ මෙම ව්යාපෘති ක්රියාත්මක වෙයි.සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පාසල් දරුවන් විශේෂිත වූ ව්යාපෘති ක්රියාත්මක කෙරෙන අතර අධ්යාපන අමාත්යාංශය සහ වෙනත් රේඛිය අමාත්යාංශ, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා මූල්යාධාර හෝ වෙනත් සහනාධාර හෝ ලබා දීම සිදු කරයි. එසේම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ එම පවුල් ඒකක සවිබලගැන්වීමේ අරමුණින් ඔවුන් සඳහා විශේෂිත වූ ව්යාපෘති ක්රියාත්මක කිරීම, මූල්ය ආධාර ලබාදීම, සහනාධාර ලබාදීම, සහ සුබසාධන වැඩසටහන් ආදිය ක්රියාත්මක කෙරෙයි.
2026-10-22
ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්ය විද්යාත්මක අධ්යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය.ශ්රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්රධාන වශයෙන් දායක වන දිස්ත්රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා රෝපණ ද්රව්ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks