01

E   |     |  

2025-03-28

පුවත් කාණ්ඩ : පුවත් 

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තු තානාපතිවරයා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (මාර්තු 26) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දශක හතකට ආසන්න කාලයක් පැවති නිල සබඳතා මෙන්ම, දෙරට අතර පැවති ගැඹුරු ‍ඓතිහාසික හා සංස්කෘතික සබඳතා මෙහිදී කථානායකවරයා සිහිපත් කළේය. දූෂණයෙන් තොර සහ ස්ථාවර ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා නව රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. එසේම ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි  අංශවල ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා සම්බන්ධවන ලෙස ද  කථානායකවරයා  ඊජිප්තුවේ ආයෝජකයින්ට ආරාධනයක් ද කළේය.

තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් මහතා ගරු කථානායකතුමාට සිය සුබ පැතුම් එක් කළ අතර ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ඇගයීමට ලක්කළේය. විවිධ අංශවල සහයෝගීතාව ඔස්සේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා ඊජිප්තුව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

වෙළඳාම සහ ආයෝජන, සංචාරක, සංස්කෘතික සහ වෙනත් හුවමාරු වැඩසටහන් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡාවල නිරත විය.

දෙරටේ ව්‍යවස්ථාදායක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද  ගරු කථානායකවරයා මෙහිදී  සඳහන් කළේය.




සම්බන්ධිත පුවත්

2026-06-02

වෙසක් අසිරියෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආලෝකමත් වෙයි

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් දිනය සැමරුණු  සති අන්තයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙසක් අසිරියෙන් බැබළෙමින් දර්ශනීය පරිසරයක් බවට පත් විය.විවිධ වර්ණයන්ගෙන් සැරසූ වෙසක් කූඩු, ආලෝකමත් විදුලි පහන්, බෞද්ධ කොඩිවැල් ඇතුළු  වෙසක් සැරසිලි මගින් පාර්ලිමේන්තු පරිශ්‍රය අලංකාර කර තිබූ අතර, එය නෙත ගැටෙන සෑම අයකුටම ආධ්‍යාත්මික සුවයක් හා සැනසීමක් ලබා දුන්නේය.මෙම අලංකරණයන් බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, සහජීවනය හා සදාචාරාත්මක වටිනාකම් සමාජයට සිහිපත් කරමින් වෙසක් උත්සවයේ සැබෑ අරුත ජනතාව වෙත රැගෙන යාමට සමත් විය. රාත්‍රී කාලයේදී විදුලි ආලෝකයෙන් දිදුලන වෙසක් කූඩුවලින් සහ සැරසිලිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රයට විශේෂ චමත්කාරයක් එක් විය.ජාතිය, ආගම සහ සංස්කෘතිය ඉක්මවා යන බුදු දහමේ විශ්වීය පණිවිඩය සහ සාමය, සහජීවනය සහ මනුෂ්‍යත්වය අගය කරන සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ද මෙම වෙසක් අලංකරණය තුළින් ප්‍රකාශ විණි .මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භූමියේ රෝපණය කර ඇති ශ්‍රී මහ බෝධියේ අංකුරයෙන් බිහි වූ පූජනීය බෝධීන් වහන්සේ වටා පහන් දැල්වීම ද සිදු විය. එම ආගමික වතාවත්වලදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමින් රටටත් ජනතාවටත් සාමය, සෞභාග්‍යය සහ යහපත ප්‍රාර්ථනා කරන ලදී.වෙසක් අසිරියෙන් බැබළුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ අභිමානයත්, ආධ්‍යාත්මික උරුමයේ අගයත් සුවිශේෂී අයුරින් විදහා දැක්වීය. 


2026-05-30

ගරු කථානායකතුමාගේ වෙසක් දින පණිවුඩය

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලෝකවාසී බෞද්ධ ජනතාවට වගේම අද දිනය ශ්‍රී ලාංකිකයින් ලෙස අපට අතිශයින්ම වැදගත් වන්නේ අප රටේ සමාජීය සංස්කෘතික මූල පද්ධතියේ උරුමය රඳා පවතින්නේ බුදු දහම මත නිසා ය.මෙවර වෙසක් දින තේමාව වන්නේ ද " අභිත්ථරෙථ කල්‍යාණේ"  වේ. එනම් "පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු" යන්නයි. පොදු ජන හිත සුව පිණිස සියල්ල හැර දා තම ජීවීත කාලය කැප කළ අප ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වන ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අප වෙත ගත හැකි උතුම්ම ආදර්ශයක් වන්නේ ද එය යි. ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දුන් පසුගිය ස්වභාවික විපත් හමුවේ අපගේ ශ්‍රී ලාංකික ජාතිය පීඩාවට පත් අනෙකාගේ යහපත වෙනුවෙන් පෙනී සිටි ආකාරය මගින් අප සමාජය තුළ ඇති මෙම බෞද්ධ ආගමික හරයන් මැනවින් පිළිබිඹු කළ බව ද මම විශ්වාස කරමි.ඒ නිසා බුදුරදුන් අනු දැන වදාළ ප්‍රෞඪ ආධ්‍යාත්මික පණිවිඩයට අනුව ජීවිතය ගත කිරීමේදී සෑම විටම පොදු ජන හිත සුව පිණිස ක්‍රියා කළ යුතු වන්නෙමු. පීඩාවට පත්වන අනෙකා වෙනුවෙන්, වගේම පොදු සමාජයක යහපත වෙනුවෙන් ක්‍රියාකළ හැකි සමාජයක් බිහිකිරිමේ අත්තිවාරමේ එක් කුළුණක් දරා සිටින්නේ ආගමයි. ඒ සදහා ආගම තුළ ද නව පුනර්ජීවනයක් උදා කරගත යුතුය. එවැනි ආගමික ප්‍රබෝධයක් මගින් සමාජ ප්‍රබෝධයක් බිහි කර ගත හැකි බවත් ඒ ඔස්සේ වඩාත් සුවපත් සමාජයක් උරුම කරගත හැකි බවටත් මම විශ්වාස කරමි.ඒ අනුව මේ උතුම් වූ තෙමඟුල් දින මුළු මහත් සමාජයක් ලෙස පොදු යහපත වෙනුවෙන් සෑම විටම කැප වීමට, ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමට ආරාධනා කරමින් අද දින වෙසක් උත්සවය සමරන ශ්‍රී ලාංකික සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යක් වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ සැමට තෙරුවන් සරණයි...!වෛද්‍ය ජගත් වික්‍රමරත්නකථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව


2026-05-27

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් චීන මහජන සමූහාණ්ඩුවේ වැඩමුළුවකට සහභාගි වෙති

මහජන චීන සමූහාණ්ඩුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන වැඩමුළුවකට සහභාගී වීම සඳහා, ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්නගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිසක් පසුගිය 25 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙතින් පිටත්ව ගියහ. මන්ත්‍රීවරයන් විසිදෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් සිව්දෙනෙකුගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වේ.2026 මැයි 25 සිට ජූනි 05 දක්වා බීජිං සහ ගුවැන්ඩොං පළාතේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගීතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබයි.මෙම නියෝජිත පිරිස 2026 මැයි 25 වැනි දින බීජිං නුවරට පැමිණි අතර, 2026 මැයි 26 වන දින බීජිං හි ෆෙන්හුයි (Fenghui Centre) මධ්‍යස්ථානයේදී පැවැති වැඩමුළුවේ නිල සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් සමාරම්භක උත්සවය අමතමින්, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශයක් සිදු කළාය. බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියූ අයිජුන් (Qiu Aijun) මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.දේශන, සාකච්ඡා, ආයතනික සංචාර සහ ක්ෂේත්‍ර සහභාගිත්ව කටයුතු සමග බීජිං, ෂෙන්සෙන් සහ ගුවැන්ඩොං පළාතේදී පැවැත්වෙන මෙම වැඩසටහන තුළදී පාලනය, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් නවීකරණය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.ශ්‍රී ලංකාව මෙම වැඩමුළුවට සහභාගී වීම මගින්, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වය වැඩිදියුණු කිරීමට සහ ආයතනික සහයෝගීතාව මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට දෙරටෙහිම ඇති කැපවීම අවධාරණය කෙරේ.නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චාමර සම්පත් දසනායක, රෝහණ බණ්ඩාර, ඩබ්.එච්.එම්. ධර්මසේන, උපුල් කිත්සිරි, තාහීර් මරික්කාර්, චන්දන තෙන්නකෝන්, ධර්මප්‍රිය දිසානායක, සුසන්ත කුමාර නවරත්න, නන්දන පද්මකුමාර, ස්ටෙෆනි ප්‍රනාන්දු, (වෛද්‍ය) ශ්‍රී භවානන්දරාජා, ඊ.එම්. බස්නායක, මොහොමඩ් ෂරීෆ් ෆස්මින්, (වෛද්‍ය) පද්මනාදන් සත්‍යලිංගම්, දිනේෂ් හේමන්ත පෙරේරා, සමන්ත රණසිංහ, අබ්දුල් වසීත් සහ රොෂාන් අක්මීමන යන මහත්වරුන්ගෙන් මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිස  සමන්විත වේ.තවද මෙම නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (මුදල්) ගමගේ සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ලාල් කුමාරසිරි සහ ප්‍රධාන සන්ධාන නිලධාරිනී අමා විතානගේ  යන මහත්ම මහත්මීහු ද ඇතුළත් වෙති.


2026-05-22

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට, ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, තරුණ කටයුතු හා ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) අතර සාකච්ඡාවක් පසුගියදා (මැයි 20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.     මෙහිදී, ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු විය.ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීමේ සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී පැහැදිළි කළේය.මෙහිදී අදහස් දැක්වූ  තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය, සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළාය. ශක්තිමත් අන්තර් -පාර්ලිමේන්තු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා කියුබානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ද කැපවන බව  ඇය සඳහන් කළාය.සමීප සබඳතා සහ සාකච්ඡා වර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයින් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය. කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම දින ශත සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන අනුස්මරණ උත්සව වලට සහභාගී වන ලෙස ද ඇය ගරු මන්ත්‍රීවරයන්ට ආරාධනා කළාය.ශ්‍රී ලංකාවෙන් කියුබාවට ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ මෙහිදී අදහස් පළ කළහ.තානාපතිවරිය කියුබාවේ වත්මන් තත්ත්වය සහ අභියෝග පිළිබඳව ද ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් දැනුවත් කළාය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks