logo

E   |     |  

2025-03-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ප්‍රවාහන, පාරිසරික, ව්‍යාපාරික සහ ජනතා හිතවාදී සංකල්ප ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වගකියනු ලබන අනුකාරක සභා ත්‍රිත්වයක්

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ 2025 ජනවාරි මස 24 වැනි සිකුරාදා දින පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා විසින් පහත සඳහන් අනුකාරක සභා ත්‍රිත්වය පිහිටුවීමට කටයුතු කරන ලදී.

 

ප්‍රථම අනුකාරක සභාව

අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම

 

අරමුණු

  • ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ විධිමත්ව සංවිධානය නොවූ සේවකයන් වෙනුවෙන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමක් ඇති කිරීම.
    • පුද්ගලික බස් රථ රියදුරන්
    • කොන්දොස්තරවරු
    • ත්‍රීරෝද රථ රියදුරන්
    • ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් (App Base Workers)

 

  • ඔවුන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබා දීම.
  • දායක විශ්‍රාම වැටුපක් හෝ පළාත් සභා මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂණ අරමුදලක් එකී සේවකයන් වෙනුවෙන් පිහිටුවීම.

 

අනුකාරක සභා සාමාජික මන්ත්‍රීවරු

ගරු චන්දන සූරියආරච්චි (සභාපති)
ගරු ජගත් විතාන මහතා
ගරු දිනිඳු සමන් මහතා
ගරු දේවානන්ද සුරවීර මහතා

 

 

දෙවැනි අනු කාරක සභාව

ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය  යොමු කරවීම

අරමුණු

  • ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම
  • ඉදිරි වසර පහකින් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිශානතිය කෙබඳු ද යන්න තීරණය කිරීම
  • ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කිරීමේදී කාන්තාවන් සහ ආබාධිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම
  • ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා නෛතික සහ පරිපාලනමය යෝජනා ඉදිරිපත් කිරීම

 

අනුකාරක සභා සාමාජික මන්ත්‍රීවරු

ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය (සභාපති)
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා
ගරු තනුර දිසානායක මහතා
ගරු සුජීව දිසානායක මහතා

 

 

තෙවැනි අනුකාරක සභාව

ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම

අරමුණු

  • පවතින සම්පත් භාවිත කොට ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි මූලික අභිප්‍රායන් හා බැඳී පවතින අංශ දියුණු කිරීම
  • අතිරේක සේවා  නිර්මාණය කොට එමගින් අමතර ආදායම් උත්පාදනය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම

 

අනුකාරක සභා සාමාජික මන්ත්‍රීවරු

ගරු චතුරංග අබේසිංහ මහතා (සභාපති)
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා
ගරු ධනුෂ්ක රංගනාත් මහතා

 

 



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks