පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-08
ජීවත්වීම උදෙසා දෘෂ්යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව ආචාර්ය හරිනි අමරසූරිය අග්රාමාත්යවරිය පැවසුවාය.
ගරු අග්රාමාත්යවරිය මේ අදහස් පළකලේ අද (මාර්තු 08) පාර්ලිමේන්තුවේ පැවති 2025 ජාත්යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ශ්රී ලංකා දෘෂ්යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්යාබාධිත කාන්තා සංසදයේ කොඩි පැළඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි, නියෝජ්ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.
මෙහිදී තවදුරත් අදහස් දැක්වු ගරු අග්රාමාත්යවරිය, දෘෂ්යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් තමන්ගේ වෘත්තීන් රැකගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම අයිතිවාසිකම් රැකගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටින බව පැවසුවාය. සමාජය ආබාධයට ලක්ව සිටීම හේතුවෙන් මෙලෙස එම කාන්තාවන්ට අරගල කිරීමට සිදුව ඇති බවත් එම තත්ත්වය වඩාත් හොඳින් හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්රියාත්මක වීමට පාර්ලිමේන්තුව මැදිහත්වී කටයුතු කරන බවද ගරු අග්රාමාත්යවරිය පැවසුවාය.
අනතුරුව මෙහිදී ශ්රී ලංකා දෘෂ්යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්යාබාධිත කාන්තා සංසදයේ සාමාජිකාවන් විසින් ගරු අග්රාමාත්යතුමිය සහ මන්ත්රීවරියන් ඇතුළු පිරිස සඳහා 2025 ජාත්යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණු කොඩි පැළඳවීම සිදුකළහ.
පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු අමාත්ය සරෝජා පෝල් රාජ්, ගරු පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සමාජික මන්ත්රීවරියන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න, අධ්යක්ෂ ව්යවස්ථාදායක සේවා සහ අධ්යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා, ශ්රී ලංකා දෘෂ්යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති එච්.ජේ. නිල්මිණි, ශ්රී ලංකා දෘෂ්යාබාධිත කාන්තා සංසදයේ සභාපති ශාරිකා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2026-10-20
ශ්රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, නවරාත්රී පූජෝත්සවය ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්රාමාත්යවරිය සහ වෛද්ය ජගත් වික්රමරත්න ගරු කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (ඔක්. 20) පාර්ලිමේන්තු පරිශ්රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්රයේ දී නවරාත්රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් හින්දු පූජකවරු ආගමික චාරිත්ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් වර්ණවත් විය.ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්රාමාත්යතුමිය මෙහිදී අදහස් දක්වමින්, යහපත් සිතිවිල්ලෙන් සිදු කරනු ලබන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බව පවසා සිටියේය. එසේම අන්ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික සහ සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ඇති කිරීමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා, හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්ය වී සරස්වතියගේ ඇල්ම බැල්මෙන් ප්රඥාව දියුණු වීම ප්රාර්ථනා කරන බවත් සඳහන් කළේය. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්ශයක් බවත් කථානායකවරයා පැවසීය.භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය පුරා දින 9ක් රාත්රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබා දෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි, නියෝජ්ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක, සෞඛ්ය සහ ජනමාධ්ය ගරු අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප්, විපක්ෂයේ ගරු ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද අනුබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ.
2026-10-19
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (ඔක්. 19) සිය සහතිකය සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින ගරු අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්යගත ඉලෙක්ට්රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ. මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-10-19
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්රී පූජෝත්සවය එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්රයේ දී උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය. ශ්රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, සමරනු ලබන මෙම නවරාත්රී පූජෝත්සවය සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය, ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඇතුළු මැති ඇමතිවරයන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරයන් සහභාගී වීමට නියමිතය. භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය දින 9ක් රාත්රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
2026-10-16
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් අද (ඔක්. 16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, ඔක්තෝබර් 20 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. ඔක්තෝබර් 21 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.අනතුරුව, ප.ව. 5.00 ට ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.අනතුරුව, ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks