පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-03-03
පාසැල් දරුවන් සහ ශ්‍රී ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මග හැර ධාවනය වන ශ්‍රීලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකාච්ඡා විය.
මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ ඕනෑම පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි. මේ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් එතුමා තවදුරත් අදහස් දක්වමින් පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් 2025.02.28 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය. මෙම කාරක සභාවට වරාය හා සිවිල් ගුවන් සේවා ගරු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද එම අමාත්‍යාංශයට අනුබද්ධිත රාජ්‍ය ආයතනයන්හී නිලධාරිහු ද සහභාගි වූහ.
තවද මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, තාක්ෂණය පවා තිබියදී වන අලින්ට සිදුවන හානිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උනන්දුවක් නොමැති වීම පිළිබඳව කණගාටු වන බව පැවසුවේය. මීනගයා දුම්රිය අනතුරින් මියගිය වන අලින් 6 දෙනා සම්බන්ධ සිදුවීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවත්, එය එසේ සිදුව තිබියදී දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් තමන් සතු GPS දත්ත තාක්ෂණය මෙවන් සිදුවීම් අවම කරගැනීම සඳහා යොදා ගැනීමට කිසිඳු උනන්දුවක් නොදැක්වීම පිළිබඳව සභාපතිවරයා තම අප්‍රසාදය පළ කර සිටියේය.
මේ තත්ත්වයන් වළක්වා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගැනීමට දුම්රිය දෙපර්තෙමේන්තු නිලධාරීන් හට අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවේය. මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා සිදුකරන බවත්, ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරනු ලබන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂම කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සඳහා එම විෂයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කාරක සභාවක් පිහිටුවීම ද මෙහිදී සිදු විය.
එමෙන්ම වරායෙන් නිෂ්කාශනය කර නොමැති බහාලුම් (කන්ටේනර්) ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද නිලධාරීහු විසින් මන්ත්‍රීවරයන් දැනුවත් කළහ.
ඒ අනුව, මෙම බහාලූම් වරාය තුළ සිරවීම හේතුවෙන් ඇතිව ඇති ප්‍රමාදය මග හරවා ගැනීමට කඩිනමින් නිලධාරී බඳවා ගත් බවත්, වරාය තුළ තද බදය අවම කිරීමේ අරමුණින් වරයට පිවිසෙන රථ ගාල් කිරීම සඳහා බ්ලුමැන්ඩල් හි අක්කර දෙක හමරාක ඉඩ ප්‍රමාණයක් රේගුව වෙත භාර දී තිබෙන බවත් සිවිල්, ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය. තව ද, Port Community System ඩිජිටල් තාක්ෂණ වැඩසටහන තිරසාර විසඳුමක් ලෙස දිගු කාලීන වැඩපිළිවෙලක් වශයෙන් ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
තව ද, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සලකා බැලුණු අතර එම වාර්තා සම්මත කරන ලදී.
එසේම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරනු ලැබූ අනු කමිටු ත්‍රිත්වයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් එහි කමිටු සභාපතිවරු විසින් ප්‍රගති සමාලෝචනයක් ද ඉදිරිපත් කරන ලදී.
2026-10-02
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීමට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්‍ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක් ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ සහ කොමිෂන් සභා පොදු අරමුදල මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය 971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්‍යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.
2026-10-02
සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී 2003 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය සහ ඒ සඳහා මහජන ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා විය.තවද, පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලන ගැටළු විසඳීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලැබිණි.
2026-10-02
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් ක්‍රියාවලිය, අභ්‍යන්තර හා බාහිර පරීක්ෂකවරුන් යොදා ගැනීම සහ විභාග කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, විභාග කටයුතු සඳහා පවතින ස්ථාන පහසුකම්, තාක්ෂණික උපකරණ සහ මුද්‍රණ පහසුකම්, විභාග හා ඇගයීම් කටයුතුවලට අදාළ දීමනා හා ගාස්තු සංශෝධනය කිරීම සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු විය.තවද, ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා නව OMR/OCR පද්ධතියක් හඳුන්වාදීම, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ ආයතනික විභාග කාර්යක්ෂමව පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර පිළිබඳව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.මීට අමතරව, විභාග ප්‍රතිඵල විශ්ලේෂණය මත පදනම්ව ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මීට පෙර ලබාදුන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ගරු මන්ත්‍රීවරයන්වන නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-10-02
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks