පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-02-20
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (පෙබ. 20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී එතුමාගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය.
මෙහිදී මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වමින් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවත්ය.
මේ අතර, උතුරු නැගෙනහිර පළාත්වල යුධ හමුදා කඳවුරු සහිත ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කළහ. මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටියේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයිනේම ත්‍රිවිධ හමුදාව භාවිතා කරන ඉඩම් පිළිබද නැවත විගණනයක් හෝ ඇගයීමක් සිදුකර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණයන් ගන්නා බවයි.
හමුදාව මගින් පාලනය වන සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාර, සංචාරක කර්මාන්තය සඳහා වඩාත් ඵලදායි ආයෝජන කෙරෙහි යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී විමසීම් කළහ. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ආර්ථික ප්‍රතිලාභ සඳහා ඒවා යොදා ගැනීම පිළිබඳව තීරණය කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ ස්ථාපිත ඇතැම් සිද්ධස්ථාන මුල්කොටගෙන යම් වාර්ගික හා ආගමික බෙදීම් ඇති විමේ හැකියාවක් ඇති බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආගමිකවාදය සහ ජාතිවාදය දේශපාලනයෙන් සහමුලින්ම ඉවත්විය යුතු බවයි. එම ප්‍රදේශයේ පුරවැසියන්ගේ අවංක උවමනාව මත මෙම සියලු ප්‍රශ්න විසඳාගතහැකි බවත් ඇතැම් පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් මෙවැනි අවස්ථාවන් දේශපාලන ගැටලු බවට පත්කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. එබැවින් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය සහ ආගම්වාදය ඇතිකිරීමට කිසිවෙකුට ඉඩ නොතැබීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
එසේම ජාතික ආපදා කමිටුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරී පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks