බලන්න

E   |     |  

2024-09-26

පුවත් කාණ්ඩ : පුවත් 

කාන්තාවට මුහුණදීමට සිදුවන නොයෙකුත් අභියෝග ජය ගැනීමට දැනුමින්, නිපුණතාවයෙන් පිරිපුන්ව ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන්න - පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් අමතමින් පවසයි

  • පාර්ලිමේන්තුවේ කාරක සභා හා සංසද 80කට වැඩි ප්‍රමාණයක් මගින් නොපෙනෙන විශාල වැඩකොටසක් ඉටුකරනවා - ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි


කාන්තාවන් නායකත්වය කරා යන ගමනේදී මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට දැනුම, නිපුණතාව සහ ආත්ම විශ්වාසය නිරන්තරයෙන් වර්ධනය කරගනිමින් නොබියව ඉදිරියට යන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් අමතමින් පැවසුවාය.

මහලේකම්වරිය මේ බව පවසා සිටියේ කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවුව ද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවමත් 5% ඉක්මවා නොමැති පසුබිමක කාන්තා නායකත්වය සහ නියෝජනය තවදුරටත් වර්ධනය විය යුතු බවත් මහලේකම්වරිය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත් නවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ බවත් එ් අනුව පසුගිය කාලය තුළ කාන්තාවන්ට අදාළ නව නීති හදුන්වාදීමට හා පවතින නීති සංශෝධනය කිරීමට හැකිවූ බවත් මහලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.

පාර්ලිමේන්තුව මහජනතාවගෙන් දුරස්ථ ආයතනයක් බවට පත්වීම දක්නට ලැබුණු පසුගිය කාලය තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු 200කට වැඩි ප්‍රමාණයකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සක්‍රීයව සම්බන්ධවී දැනුවත් කිරීම් සිදුකළ බවත් ඇය සඳහන් කළාය. එසේම නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාරක සභාවලදී තරුණ නියෝජිතයන්ට අවස්ථාව සැලසීම ඇතුළු සාධනීය පියවර රැසක් ගැනීමට හැකිවූ බව ද මහලේකම්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) ජයලත් පෙරේරා මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ කාරක සභා මඟින් තිරය පසුපස විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. නවවැනි පාර්ලිමේන්තුව තුළ කාරක සභා 70ක් පමණ ක්‍රියාත්මක වූ බවත් විවිධ සංසද 12ක් හා සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සමඟින් මෙම ගණන 83ක් බවත් ඒ මහතා පැවසීය. එසේම මෙම කාරක සභා සහ එහි කාර්යභාර්ය පිළිබඳව සරලව ශිෂ්‍යාවන් දැනුවත් කිරීම ද සිදුවිය.

එසේම දරුවන්ගේ නායකත්ව කුසලතා හා පෞරුෂ සංවර්ධනය උදෙසා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන බවත් ජයලත් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍යාවන් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට එක්විය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහ‍ජන සේවා අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට කොලොන්නාව බාලිකා විදුහලේ සහකාර විදුහල්පතිනිය වන ආර්.ඒ.එස්. මධුභාෂිණි, අංශ ප්‍රධාන ආචාර්ය ඩී.එම්. තමරාකාන්ති දිසානායක, ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය නිසංසලා අනුරුද්ධි ගල්මන්ගොඩ යන මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහජන සේවා අංශයේ කළමනාකාරිනී බුද්ධිනී රාමනායක මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.



සම්බන්ධිත පුවත්

2026-09-01

ගරු කථානායකතුමා කාම්බෝජයේ පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවට සහභාගී වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.


2026-08-28

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම  සඳහා කාලය වෙන් කර  ඇත.සැප්තැම්බර් 9  බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 සිට  පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.සැප්තැම්බර් 10  බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව  සඳහා කාලය වෙන් කර  ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා  පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.


2026-08-28

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහනක් නවදිල්ලි නුවරදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම  ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව  උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව  වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ  අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.  මෙම වැඩසටහන සාර්ථක  කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම  මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.


2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks