පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-07-24
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ලබන 25 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගියදා (ජූලි 22) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව නියෝජනය කරන පිරිසක් එක්ව සිටියහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ඉදිරිපත් කෙරෙන මෙම පනත් කෙටුම්පත මෙරට ආර්ථික වර්ධනය සදහා ඉදිරිපත් කළ වඩාත් පුළුල් පනත් කෙටුම්පතක් බව ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා මෙහිදී පනත් කෙටුම්පත හදුන්වාදෙමින් පැවසීය. ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා මෙම පනත මගින් විධිවිධාන සලසා තිබේ. ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළදාම සදහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය මෙම පනත මගින් ස්ථාපිත කිරීම සිදුවේ. තවද නව පනතේ විධිවිධාන මගින් 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සදහාද විධිවිධාන සපයා ඇත.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද අදහස් පළ කළහ. මෙම පනත් කෙටුම්පත ආර්ථික පරිවර්තනය නිවැරදි දිශානතියට යොමු කිරීම සදහා ගත් වැදගත් පියවරක් වශයෙන් හදුන්වාදිය හැකි බව ද සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ. එසේම මෙහි ආර්ථික කොමිෂන් සභාවට පුද්ගලයන් පත් කිරීම සදහා මුදල් විෂය භාර අමාත්‍යවරයාට ඇති බලය සංකේන්ද්‍රණය වීම අවම කිරීමට පියවර ගැනීම, තවදුරටත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ගැනීම, පුද්ගලයන් පත් කිරීමේදී දේශීය හෝ විදේශීය සුදුසුම පුද්ගලයන් පත් කිරීම සදහා වැඩි ඉඩක් සැපයීම ,ආයෝජන සදහා පවතින ඉඩම් ගැටලුවට විසදුම් ලබාදීම, කර්මාන්ත සහ සේවා සදහා ද වැඩි අවකාශයක් ලබා දීම ඇතුළු යෝජනාවන් ගණනාවක් මෙහිදී ඉදිරිපත් විය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පවසා සිටියේ ආර්ථිකය නව දිශානතියකට යොමු කිරීම සදහා වැදගත් පනතක් ලෙස මෙම පනත් කෙටුම්පත හදුන්වාදිය හැකිවුව ද සාකච්ඡා වූ යෝජනා සහ අදහස් ඊට එක්විය යුතු බවයි. එකී සියලු කරුණු පනතට එක් කිරීමට නොහැකි වුව ද ඒවා අනුනීති (නියෝග/ රෙගුලාසි) වශයෙන් ඒවා ක්‍රියාත්මක කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම මෙම සාකච්ඡාව සංවිධානය කිරීමට සහ ඒ සදහා සහභාගීවූ සියලු දෙනාටම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා සිය ස්තූතිය පළ කර සිටියේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන වෙස්මිනිස්ටර් පදනම සමග එක්ව සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාව සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද වෙරිටේ රිසර්ච්, ඇඩ්වකාටා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයෝද එක්ව සිටියහ.
2026-01-30
කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සහ පරිසරයට දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.22 පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මේ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ ඒ අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ගෙන් දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් දත්ත ඇතුළත් වාර්තාවක් සකස් කොට ඇත්දැයි විමසීය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ සිදු වී ඇති හානිය ගණනය කරමින් වාර්තා සකස් කොට ඇති බවයි. මේ සම්බන්ධයෙන් කෙටියෙන් කාරක සභාව දැනුවත් කිරීමද සිදු විය. එසේම ඒ ඒ අමාත්‍යාංශයට ඇතුළත් දෙපාර්තමේන්තු සහ සංස්ථා නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් තම ආයතන සතු දත්ත කාරක සභාවට ඉදිරිපත් කිරීම සිදු කළේය.දත්ත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සභාපතිවරයා විසින් එ් ඒ හානි සම්බන්ධයෙන් ලබාදෙන වන්දි සහ එම වන්දි ගණනය කිරීම සම්බන්ධයෙන් විමසන ලදි. මෙහිදී වැවිළි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමේන් අනතුරුව වන්දි ගෙවීම සිදු කරන බවයි. මේ නිසා එම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ වන්දි ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් බවයි. එසේම වන්දි ලබාදීම කඩිනම් කරන ලෙසද කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි. එසේම ඒ ඒ අමාත්‍යාංශය විසින් දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් සකස් කළ වාර්තා කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කළේය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) අජිත් පී. පෙරේරා, රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-01-29
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.21 දින පාර්ලිමේන්තුවේදී රැස් විය.මේ සඳහා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ලබාදීමට ජාතික තරුණ සේවා සභාව සකස් කිරීමට බලාපෙරොත්තු වන වැඩසටහනට අදාළ නිර්ණායක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. එසේම මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු මගින් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය. තවද විශ්ව විද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම අනු කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ,නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-01-29
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම කාරක සභාව 2026.01.27 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත හා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විවිධ ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් තම ක්‍ෂේත්‍රයන්හි පවතින ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තම කර්මාන්තය මුහුණ දෙන අසීරුතාවයන් පෙන්වා දෙමින් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළේය.එමෙන්ම අපනයනය දිරිමත් කිරීම උදෙසා පවතින නියාමනයන් ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරය නැවත සමාලෝචනය කර සකස් කිරීම, ආදායම් බදු සඳහා ආරක්ෂිත වරාය රීති හඳුන්වා දීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා වැට් ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන විදේශීය ආයතන නියාමනය කිරීම හා විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම ඔස්සේ තම කර්මාන්තය නගා සිටුවීමට හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. තවද මැණික් පතල් හැරීමේදී ස්කෑන් යන්ත්‍ර භාවිතය ඉඩ නොදීම සහ පවතින පතල් ඉඩම් අඩු වෙමින් යාමේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද එම කර්මාන්තකරුවෝ කාරක සභාවේ අවධානය යොමු කළහ.අවසානයේදී කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ලිහිල්කරණය (බදු හා භෞතික), පරිපාලනය සහ පතල් කැණීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිපත්ති කරුණු යන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කර්මාන්තය තුළ ගැටලු හඳුනාගත හැකි වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, එකී කරුණු සමස්තයක් ලෙස ඒකාබද්ධ කරමින් සවිස්තරාත්මක සාකච්ඡා ලේඛනයක් සකස් කර, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
2026-01-29
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ පවතින සම්පත්වලින් ආරම්භ කිරීමටත් එකඟතාවයක් ඉදිරි පියවර සැලසුම් කිරීමට සියලු පාර්ශ්ව නියෝජනය වන තාක්ෂණික කමිටුවක් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල නැවත මේ වසරේ ආරම්භ කිරීමට පියවරනවීන තාක්ෂණයෙන් සමන්විත සිනමා චිත්‍රාගාරයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා මෙරට ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම සඳහා මූලික සාකච්ඡාවක් පසුගියදා (ජන. 22) කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පැවැත්විණි.කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය ද සහභාගි විය. ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, අංග රචනා ශිල්පීන්ගේ සංසදය, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය, සිනමා අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් මෙන්ම සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් සහ ආචාර්යවරු ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීමට අදාළව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. මෙම සිනමා පාසල සිනමාව පිළිබඳ දැනුම ලබාදීමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික චිත්‍රපට නිර්මාණකරුවන් බිහිකරන පාඨමාලාවන්ගෙන් සමන්විත ආයතනයක් විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එසේම මෙම සිනමා පාසල අන්තර්ජාතික සිනමා පාසැල්වල ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා විය.සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම පිළිබඳ දිගුකලක් මුළුල්ලේ කථිකාවක් පැවතිය ද තවමත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බැවින් සියලු අදාළ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ පවතින සම්පත්වලින් එය ආරම්භ කිරීමත් අනතුරුව ක්‍රමිකව එය ශක්තිමක් කිරීමේත් අවශ්‍යතාව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික චිත්‍රපට සංස්ථාවේ දැනටමත් පවතින සම්පත් යොදාගනිමින් මෙම ජාතික සිනමා පාසල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඊට අදාළ නෛතික රාමුව සකස් කිරීමත් අවශ්‍ය මූලික අනුමතිීන් ලබා ගැනීම ඇතුළු මූලික ඉදිරි පියවර සකස් කිරීම සඳහාත් කමිටුවක් ස්ථාපිත කිරීම මෙහිදී සිදුවිය. ඒ අනුව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ සිනමා ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි තාක්ෂණික කමිටුවක් මෙහිදී ස්ථාපිත කෙරිණි. පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා බණ්ඩාර, රාජ්‍ය සිනමා අනු මණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් පිරිසක් මෙම කමිටුවට පත්කර ගැනීම සිදුවිය.එසේම මෙම සිනමා පාසලේ විෂය මාලාව ඇතුළු අධ්‍යයන කටයුතු සැලසුම් කිරීම සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත තවත් කමිටුවක් ස්ථාපිත කිරීමත් සිදුවිය.එසේම, දැනට අක්‍රීයවී ඇති කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival, Colombo) මේ වසරේදී නැවත ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ දිගුකාලීනව ස්ථාවර ලෙස මෙම සිනමා උළෙල පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමටත් මෙහිදී එකඟත්වය පළ විය. මෙම සියලු කටයුතු සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට සූදානම් බව මෙහිදී අදහස් දක්වමින් කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කළේය. මේ අතර චිත්‍රපට නිෂ්පාදන කටයුතු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු චිත්‍රාගාර සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. කොළඹට නුදුරින් සුදුසු භූමි භාගයක මෙය ඉදිකිරීමේ අවශ්‍යතාවයත් ඒ අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, නිතිඥ සුසන්ත දොඩාවත්ත, නිතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, සුගත් වසන්ත ද සිල්වා, නිතිඥ හිරුනි විජේසිංහ, දිනේෂ් හේමන්ත සහ උපුල් කිත්සිරි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks




