04

E   |     |  

2024-07-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

  • වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ 4.5ක් මෙරටට ආනයනය කළද, එමඟින් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු වනුයේ වසරකට ටොන් 50,000ක් පමණයි - පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාවේ සභාපති

 

QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට ලක් විය.

මේ පිළිබඳ සලකා බැලුනේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 12) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ 4.5ක් මෙරටට ආනයනය කළද, එමඟින් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු වනුයේ වසරකට ටොන් 50,000ක් පමණක් බවත් මෙරට තුළ ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් විවෘත පරිසරයේ දහනය වන බවත් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මෙයින් වඩාත්ම අවධානය යොමු කළ යුතු වන්නේ පෙට් ප්ලාස්ටික් සඳහා බවත් මසකට පෙට් ප්ලාස්ටික් ටොන් 1200ක් පමණ මෙරට තුළ පරිහරණය වුවද, ප්‍රතිචක්‍රීකරණය වනුයේ එයින් ටොන් 400ක් පමණක් බවත්, ඉතිරි ටොන් 900ක් පුමාණයක් පරිසරයට අවිධිමත් පරිදි මුදාහරින බවත් ඒවා ගංගා ඇල දොළවල රැදී පවතින අතර විවෘත පරිසරයේ පුච්චා දමන බවත්, පස තුළට වැලළෙන බවත් පැවසීය.

පෙට් ප්ලාස්ටික් බෝතල් එකතු නොවීමට පවතින ප්‍රධානම හේතුව බෝතල් සඳහා මිලක් නොමැති වීමෙන් ඒවා එකතු කිරීමට මහජනතාව උනන්දු නොවීම බවද මෙහිදී අනාවරණය විය.

ඒ අනුව QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් සඳහා තැන්පතු ආපසු ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධව ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන්ගෙන් සහ මේ පිළිබඳව අවබෝධයක් ඇති පාර්ශවවල, තාක්ෂණික සහ මුල්‍ය තොරතුරු ඇතුළත් යෝජනාවන් ජුලි මස 18 දිනට ප්‍රථමයෙන් ලබා ගැනීමට පුවත්පත් දැන්වීම් පළකර තිබුනද ඒ සඳහා  දී ඇති කාල සීමාව ප්‍රමාණවත් නොවන බව කර්මාන්ත නියෝජිතයින් පැවසීය. ඒ අනුව, යෝජනාවන් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර දෙන ලෙසත්, විස්තීරණ නිෂ්පාදක වගකීම් පද්ධතිය (Extended Producer Responsibility System) අනිවාර්ය බවට නීතිගත කරන ලෙසත් පැමිණ සිටි පාර්ශව මෙහිදී කාරක සබාවෙන් ඉල්ලා සිටින ලදී.

මේ පිළිබඳ දීර්ඝ ලෙස සියලු පාර්ශව නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන ලද කාරක සභාව යෝජනාවන් ලබා ගැනීමේ කාල සීමාව ජුලි මස 18 සිට අගෝස්තු මස 27 දින දක්වා දීර්ඝ කිරීමටත්, විස්තීරණ නිෂ්පාදක වගකීම් පද්ධතිය (Extended Producer Responsibility System) අනිවාර්ය බවට නීතිගත කරන ලෙසත් නිර්දේශ කරන ලදී.

 එසේම QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කිරීම පිළිබඳව ලෝකයේ වෙනත් රටවල අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කර කාරක සභාවට වාර්තා කරන ලෙස ද පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත සමරවීර සහ ගරු තිලක් රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

 

 



සම්බන්ධිත පුවත්

2026-03-30

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට...

2026 ජනවාරි 06 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අදාළ කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු ද සලකා බැලේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම ද සිදු කරන ලදි.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, චන්දන සූරියආරච්චි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරු සහභාගී වූහ.


2026-03-30

“ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග” සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. මීට අදාළ නියෝග 2026 ජනවාරි 16 දිනැති 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.මේ සඳහා අනුමතිය හිමි වූයේ එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.


2026-03-30

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන්න - පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස්  ලබා දෙන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයවිදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිතා කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය. මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා විය.ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙසද නිර්දේශ කරන ලදී.මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ  භාවිතා කරන පෙරහන් පද්ධතිය  එම අංශු ඉවත් කිරීමට  ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන් කළහ. මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, රොෂාන් අක්මීමන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, උපුල් කිත්සිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-03-24

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට 2026.03.19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආ පදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින්  අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස  තුනක් ඇතුළත  එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට  අදාළ  නිර්දේශ  ඉදිරිපත් කිරීමට ද  අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන්  මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks