logo

බලන්න

E   |     |  

2024-07-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඉඩම් අයිතිය සහ ලිඛිත අනුමතියක් නොමැතිව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන් සම්බන්ධව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්න - ‘කෝපා’ කමිටුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත නිර්දේශයක්

  • ඉඩම් සහ නිවාස වංචනික ලෙස විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අගතියට පත් නොවන ක්‍රමවේදයක් ක්‍රියාවට නගන්න - කෝපා සභාපති

 

බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකු වලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා නිවාස මිළදී ගන්නා පාරිභෝගික ජනතාව ගැටලු  රැසකට මුහුණපාන බැවින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

මෙහිදී පැමිණ සිටි නිලධාරින් පවසා සිටියේ නිසි අනුමතීන් ලබා ගැනීමටත් ප්‍රථමයෙන් වෙන්දේසි දැන්වීම් පළ කරනු ලබන බවයි. මෙහිදී නිවැරදි ලෙස ක්‍රියා කරන වෙන්දේසිකරුවන් සමඟද සාකච්ඡා කොට  පාරිභෝගික ජනතාවට අගතියක් නොවන අකාරයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ ලබා දෙන ලදී.

ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන  පුර්ව ලිඛිත අනුමතියක් සහ ඉඩමේ අයිතිය වෙන්දේසිකරු විසින් තහවුරු කිරීමකින් තොරව ඉඩම් විකිණීම හෝ ඊට අදාළ දැන්වීම් පළ කිරීම සම්බන්ධව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ පිළිබඳ පුර්ණ වාර්තාවක් අගෝස්තු මස වන විට කමිටුවට ලබා දෙන ලෙසද පැමිණ සිටි නිලධාරීන්ට  කමිටුව විසින් උපදෙස් දෙනු ලැබිණි.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් පෙර පැවති කමිටු රැස්වීමේදී  බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දෙනු ලැබූ නිර්දේශයන්හි ප්‍රගතිය පිළිබඳ විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ඉඩම් කට්ටි කර විකිණීමේදී පොදු කටයුතු සඳහා වෙන් කර ඇති ඇති ඉඩම් පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තා ලබා දීම සඳහා කමිටුව විසින් පළාත් පාලන ආයතන වෙත නිර්දේශ ලබා දී තිබුණද ඊට අදාළ  ප්‍රගතිය පිළිබඳ වාර්තා විගණකාධිපති වෙත තවමත් ලැබී නොමැති බවත් එහි ප්‍රගතිය පිළිබඳවත් කාරක සභාව විමසා සිටින ලදී.

තවද, බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණ දත්ත පද්ධතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී. බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණ දත්ත පද්ධතිය ඔස්සේ ආයතනික මට්ටමින් මෙන්ම ආයතන අතරත් වැඩකටයුතු වඩා  කාර්යක්‍ෂම ලෙස සිදු කර හැකි බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ලෙස කෝපා කමිටුව මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය.

නව නගරසභා  ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ උපදේශක  කටයුතු වෙනුවෙන් සේවා සැපයීමට 2015 රුපියල් මිලියන 36කට ගිවිසුම්ගත වුවත් ඉඩම් අයිතිය නගරසභාව සතු නොවන බැවින් එම ව්‍යාපෘතිය සභාව විසින් අතහැර දැමු බවත් එම උපදේශක  කටයුතු සැපයු  ආයතනය විසින් තමන්ට අයවිය යුතු හිඟ මුදල සඳහා නඩු පවරා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය. පළාත් පාලන ආයතන සිය අභිමතය පරිදි කිසිඳු ශක්‍යතා අධ්‍යනයකින් තොරව නුසුදුසු ව්‍යාපෘති වලට අවතීර්ණ වීම හේතුවෙන් මෙවන් ගැටලු උද්ගත වන බවත් ඒ සඳහා යම්කිසි ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් අවධරණය කරන ලදී.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු වීරසුමන වීරසිංහ, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු මධුර විතානගේ සහ ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

 

1 4



සම්බන්ධිත පුවත්

2026-08-14

එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍යයි - ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරේ

එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.ගරු විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ  උපාය මාර්ගික රාමුවක් (Strategic Climate Resilience Framework) යෝජනා කර ඇත.වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය. සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා Differential Pricing ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින්  සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය.


2026-08-13

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ   යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට  දැනුම් දෙන ලදී.මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ '301 වගන්තිය' (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද  අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට  තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ  නිලධාරීහු පැහැදිලි කළහ.


2026-08-13

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලේ

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන (දෙවැනි වර කියවීම) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සළකා බැලිණි. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ  සභාපතීත්වයෙන් යුතුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතා එදින නොපැමිණීම හේතුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කාරක සභාව පැවැත්විණි.  1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත මඟින්, වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එකී පනතේ විධිවිධාන පරිදි  වයස අවුරුදු 16ට වැඩි එහෙත් 18ට අඩු තරුණ අය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි පනවනු ලැබ ඇත. අදාළ පනත හා එකී පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි අනුව, අදාළ වයස් සීමාවේ ළමයින් හා තරුණ අය සෞඛ්‍යයට, ආරක්ෂාවට හා සදාචාරයට හානි වන ආකාරයේ අනතුරුදායක රැකියාවක යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. එකී පනත සඳහා 2003 වර්ෂයේදී සිදු කරන ලද සංශෝධනය මඟින් එම පනතේ විධිවිධාන අනුව වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් 10,000/- නොඉක්මවන දඩ මුදලක් හෝ මාස 12ක් නොඉක්මවන කාලයක සිර දඬුවමක් යන දෙයාකාරයකින් එක් ආකාරයක දඬුවමක් හෝ එකී දඩය සහ සිර දඬුවම යන දෙකම සහ අධිකරණයේ අභිමතය පරිදි අගතියට පත් දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ද නියම කිරීම සඳහා විධිවිධාන හඳුන්වා දී ඇත. එහෙත්, අදාළ දඩ මුදල් වටිනාකම ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂණය කර තිබේ. එබැවින්, ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් සමඟ ද අනුගත වෙමින් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ 7(3), 13(2) හා 20(අ)(3) වගන්තිවල සඳහන් අවම දඩ මුදල් වටිනාකම යාවත්කාලීන කොට සංශෝධනය කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. උක්ත කරුණු අනුව මෙම සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළ අතර ඒ අනුව පනත් කෙටුම්පත සදහා කාරක සභාවේ අනුමැතිය හිමි විය.     එසේම කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ 2024 සහ 2025 වර්ෂවලට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තා, කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව,  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ  2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ 2023 වර්ෂයට අදාළ  වාර්ෂික වාර්තාව සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ  2023 සහ 2024 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා සළකා බැලීම ද සිදුවිය. කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද කම්කරු අමාත්‍යාංශය ඇතුළු ඒ යටතේ ඇති ආයතන කිහිපයක නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-08-11

ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, රටේ ඉඩම් ක්ෂේත්‍රයට අදාළ ආයතනවල කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එහිදී රජයේ ඉඩම් අවභාවිතය සහ ව්‍යාජ ඔප්පු මගින් සිදුවන වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් හරහා ජාලගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය විය. රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අදාළ තොරතුරු එක් දත්ත පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම මගින් ඉඩම් පරිපාලනය වඩාත් විධිමත් කළ හැකි බවත්, GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් ඉඩම් වංචා අවම කිරීමට හැකි වන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිජනතාවතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර ඉඩම් අයිතිය සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් දත්ත පද්ධති හඳුන්වා දීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව කාරක සභාව අවධාරණය කළේය.මේ අතර, 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. යෝජිත සංශෝධන මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් ප්‍රවාහනය,පනත යටතේ නියාමනයට ඇතුළත් කිරීමටත්, සතුන් ප්‍රවාහනය විධිමත් කිරීම මගින් පාද හා මුඛ රෝගය වැනි සත්ව රෝග පාලනයට පියවර ගැනීමටත් අපේක්ෂා කෙරේ.එමෙන්ම, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාවක් ද මෙහිදී සලකා බැලූ අතර, බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, රොෂාන් අක්මීමන, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්වරුන් ද, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන් ද, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks