01

E   |   த   |  

2024-07-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වසර 28කට පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය

විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2024.06.25 දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම අනුමතිය ලබාදීම සිදුවිය. නීතිපති දෙපාර්තමේන්තුව, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.  

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

මේ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ලොව තාක්ෂණික ප්‍රවණතා සමග මෙම පනත සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් බැවින් මීට පෙර අවස්ථා තුනකදී අමාත්‍ය අනුකාරක සභා මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය සදහා කටයුතු කළ ද එය ඉටුනොවූ බව ද නිලධාරීහු ‍පැවසූහ.

මේ අනුව මේ වන විට ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පිළියෙල කළ බව ද නිලධාරීහු පැවසූහ. මේ අනුව වඩාත් තරඟකාරී වෙළඳපොලක් තුළ පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට වන නියාමනයක් සඳහා ඉඩප්‍රස්ථාව මෙමගින් සළසා දී ඇත.

විදුලි සංදේශ සංඛ්‍යාත ලබා දීමේදී තරගකාරි ක්‍රමවේදයක් යටතේ  යාන්ත්‍රණයක් හදුන්වාදීම මෙමගින් සිදුවන බව ද මෙහිදී අනාවරණය විය.  මේ අනුව ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කළ යුතු බව ද මේ අනුව නව තාක්ෂණය පහසුවෙන් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හදුන්වාදීමට අවස්ථාව උදාවීම මෙන්ම මෙම ව්‍යපාරය සිදුකරන ආයතන මනා ලෙස නියාමනය කිරීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍ර ලබා දීමට අමතරව තවත් බලපත්‍රවර්ග 3ක් මෙම සංශෝධන හරහා හදුන්වාදීම සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ හරහා විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමගම්වලට ද බලපත්‍ර ලබාදීම සිදුකෙරේ. එසේම මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් වන බවත් නිලධාරීහු පැවසුහ. එසේම ලොව වඩාත් සාධනීය පියවරක් වන  වෙළඳපළ තරගකාරීත්වය තුළ ගාස්තු අඩුකිරීමේ වාසිය පාරිභොගිකයාට ලබාදීමට මෙම සංශෝධන හරහා අවස්ථාව ඇති බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.  එසේම මුහුදු මාර්ගයේ විදුලි සංදේශ රැහැන්වල ආරක්ෂාව සදහා ද සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ විදුලි සංදේශ  තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් එම තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙරට නීති සකස් විය යුතු බවයි. එසේම වෙළඳපළ තරගකාරීත්වය තුළ නව තාක්ෂණය හදුන්වාදීමටත් එහි වාසිය පාරිභෝගිකයාට හිමිවීමටත් මෙම සංශෝධන  වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව ද කාරක සභා සභාපතිවරයා  සදහන් කළේය. එසේම මෙම පනත රජයේ මුදල් කාරක සභාවේදී සලකා බැලෙන්නේ රාජ්‍ය මුදල් හා සම්බන්ධ කාරණා, වෙළදපොළ තරගකාරීත්වය සහ විනිවිදබව, පාරිභෝගික සාධාරණත්වය ආදිය විමර්ශනය සදහා බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු අනුප පැස්කුවල් සහ ගරු ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ,  ගරු  හර්ෂණ රාජකරුණා, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු සහන් ප්‍රදීප් විතාන සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභාවට සහභාගී වූහ.

 

12

 



සම්බන්ධිත පුවත්

2026-10-16

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සඳහා විසඳුම් කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට උපදෙස්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස  ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සඳහා Wi-Fi පහසුකම් ලබා දීම සඳහා  පෞද්ගලික ආයතනයකට  පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්‍ය ක්‍රමයකින් අන්තර්ජාලය සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා මෙරට ආරම්භ වූ චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සපයන නව සමාගමක් මගින් අන්තර්ජාලය ලබා දීමට ව්‍යාපෘති යෝජනාවක් මගින් කටයුතු කිරීමට අපේක්ෂා ‍කරන බව නිලධාරිහු සඳහන් කළහ.පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්‍රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.තෝරාගත් ප්‍රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ අතර, ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්‍රාථමික අංශවල එක් ශ්‍රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය. තවද අලුතින් සැලසුම් කෙරෙන ප්‍රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බව අවධාරණය කෙරිණි.පරිවාස භාරයේ පසුවන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අධිකරණ නියෝග මත පදනම්ව කටයුතු කිරීමටත්, එම දරුවන්ට අනවශ්‍ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියේදී අනුප්‍රාප්තිකයින් නොමැති වීම හේතුවෙන් විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන් මුදා නොහැරීම නිසා ඇතැම් ගුරු ස්ථාන මාරු  සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට සිදු වූ බව අනාවරණය විය. අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට කාරක සභාවෙන් උපදේශ ලැබිණි. තවද,  පාසල් වෙත පත් කර සිටින ක්‍රීඩා පුහුණුකරුවන්ගේ රාජකාරි නිරීක්ෂණය විධිමත් කිරීම, රාජකාරි වේලාවන් නියම කිරීම සහ පළාත් හා ජාතික මට්ටමින් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව ද සාකච්ඡා විය.විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්‍රවේශ පහසුකම්වල (Accessibility) දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එම පාසල් සඳහා පවතින අවශ්‍යතා පිළිබඳව ජාතික විගණනයක් (Audit) සිදු කිරීමටත් විශේෂ ප්‍රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.පෙර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්‍රමිතියකින් තොරව සහතික පත්‍ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය, එම අනුකාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ද කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ද  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-10-15

වතු හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

වතු හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, ගරු වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.මෙහිදී වතුකරයේ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කළහ. වතු ඉඩම්වල භාවිතයට නොගන්නා කොටස් ප්‍රයෝජනයට ගැනීම, වතුකරයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සහ ඔවුන්ට නිවාස පහසුකම් සලසා දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.වතු හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-10-15

කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය, ව්‍යාපාර සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ  ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 08) පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ අදාළ නීතිමය හා පරිපාලනමය කරුණු පිළිබඳව අවධානය යොමු විය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ  සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ  චම්පික හෙට්ටිආරච්චි යන මහත්මවරු  සහභාගී වූහ.මෙහිදී මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) ලෙස මෑතකදී ගැසට් කර ඇති ව්‍යාපාර සහ ඉදිරි ආයෝජන සැලසුම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙන්ම වරාය නගරයේ මහල් නිවාස සංකීර්ණ  ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඒවා අලෙවි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.කොළඹ ප්‍රධාන වාණිජ කලාපයට ආසන්න ප්‍රදේශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දී ඇති බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 6ක් බදු දීම සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ.තවද, රජයට අයත් ඉඩම් කොටස් 4ක්, (මුළු ඉඩම් වෙන් කිරීමෙන් 1/7 ක ප්‍රමාණයක්), වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව නිලධාරීහු පැවසූහ. මේ දක්වා බදු දී ඇත්තේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගමට අයත් ඉඩම් කොටස් පමණක් බව ද ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කළහ.මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර, එහි සාමාන්‍ය වටිනාකම වර්ග මීටරයකට ඇමරිකානු ඩොලර් 3,000ක් වන බව නිලධාරීහු සඳහන් කළහ. එසේම, (මුළු කල්බදු මුදලින් 1% කට සමාන)  රුපියල් මිලියන 398ක මුදලක් මේ වන විට කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව ද ඔවුහු වැඩිදුරටත්  පෙන්වා දුන්හ.වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති නියාමන ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාව විමසා බැලීය. එමෙන්ම, විදේශීය ශ්‍රමිකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගනිමින් අධීක්ෂණය කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. වරාය නගරය තුළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා අදාළ නියාමන කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.මහල් නිවාස සංකීර්ණ සහ නේවාසික ව්‍යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් විසින් සිදුකරනු ලබන පූර්ව ගෙවීම් වල (Pre-Sale Deposits) ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. එහිදී, විදේශීය ආයෝජකයන්ගෙන් ලබා ගන්නා එම මුදල් අදාළ ව්‍යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන එස්ක්‍රෝ (Escrow) ගිණුම් ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය.එමෙන්ම  වරාය නගරයට ලැබී ඇති සැබෑ විදේශීය ආයෝජන ප්‍රමාණය, අනුමත ව්‍යාපාරවල වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඒවා මඟින් අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කර තිබේද යන්න පිළිබඳව ද තොරතුරුද  කාරක සභාවේ සාකච්ඡා විය.


2026-10-14

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු  අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දෙන ලදී.ඒ,මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මින් පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන් ද ඇතුළත්ව  ඒවා සම්බන්ධයෙන්  ගැඹුරින් සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා උක්ත විද්වත් කමිටුව පත් කෙරිණි. වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්,  සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති  සමන් ශ්‍රී රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ  සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සාමාජිකයන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා , යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාර දී ඇති බව පැවසුවේය.මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක්  විසින් ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.අතුරු  වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද, රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබේ.එමෙන්ම, මහජන අදහස් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්‍ය නම් සිය පෞද්ගලික යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව  පවතින  බව ද  කාරක සභාව විසින් අවධාරණය  කරන ලදී.මෙම රැස්වීමෙන් අනතුරුව, කාරක සභාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ගරු සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී.මෙම කාරක සභා රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks