පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-06-28
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.
අද (ජුනි 28) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
මේ අනුව ජූලි 2 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව. 5.00 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එදින පෙරවරුවේ ගරු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව බව නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
ජූලි 3 වැනි බදාදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා මෙම විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව ප.ව. 5.00 මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත ලබාදීමට මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
2026-11-06
දැනට අක්‍රිය මට්ටමේ පවතින දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල නැවත ධාවනයට එක් කිරීම සඳහා මේවන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඒ අනුව, රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ශාලා මගින් අදාළ අලුත්වැඩියා කටයුතු මෙන්ම ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ධාවනාගාර මගින් සුළු අලුත්වැඩියාවන් සිදු කරමින් පවතින බවත් තවත් එන්ජින් කිහිපයක් බාහිර පාර්ශව මඟින් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.දිට්වා ආපදාවට පෙර මගී දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 331 ක් සහ බඩු ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 28 ක් ක්‍රියාත්මක වුව ද දිට්වා ආපදාවෙන් පසු දැනට දිනකට මගී දුම්රිය ගමන් වාර 200 ක් සහ බඩු ප්‍රවාහන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 28 ක් සිදු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. සමස්ත දුම්රිය ගමන් වාර ආවරණය කිරීම සඳහා දුම්රිය එන්ජින් 84 ක් සහ බලවේග කට්ටල එන්ජින් 106 ක් අවශ්‍ය වුවත්, දුම්රිය එන්ජින් 49 ක් සහ බලවේග කට්ටල එන්ජින් 82 ක් සක්‍රිය ධාවන තත්ත්වයේ පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති, එහෙත් නැවත ධාවන තත්ත්වයට පත් කළ හැකි මට්ටමේ දුම්රිය එන්ජින් 47 ක් සහ බලවේග කට්ටල එන්ජින් 48ක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2026-11-05
රුපියල් මිලියන 4,261 ක් (රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 05) පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවති විවාදයෙන් අනතුරුව සම්මත විය.ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය විසින් ලබාගන්නා ඕනෑම ණය මුදලකින් මෙම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරිණි.වෙනස්වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල පවතින ආපදාවන්ට ගොදුරු විය හැකි තත්ත්වයන් හා නිරන්තර අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන ආසන්න තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිතය.මේ අතර, භාර (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ දී අද (05) දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
2026-11-05
ශක්තිමත් අනාගත කාන්තා නායකත්වයක් ගොඩනැගීමේදී දේශපාලනය සහ නායකත්වය පිළිබඳ කාන්තාවන්ගේ ආකල්ප ක්‍රමයෙන් වෙනස් වීම ලෝක සහ ලාංකීය දේශපාලනය තුළ ක්‍රමයෙන් හඳුනාගත හැකි සාධනීය තත්ත්වයක් බව ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවාය.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ශාලාවේදී පසුගියදා පැවති මාරවිල, ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය මේ බව සඳහන් කළාය.නූතනයේ කුසලතාවයෙන්, දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් කාන්තාවන් ශක්තිමත් වීමෙන් අනාගතයේදී දේශපාලන හා පරිපාලනය තුළ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය පිළිබඳව යහපත් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කළ යුතු බවත් නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් මහතා විසින් පාසල් සිසුන් ඇතුළු රටේ සමත්ත ජනතාවටම ප්රතිලාභ ලබා ගත හැකි ජනාධිපති අරමුදල පිළිබඳව සිසුන් දැනුවත් කළ අතර, පවතින යහ සම්ප්‍රදායන් එලෙසින්ම පවත්වාගෙන යාමත් සෑම විටම ධනාත්මක වෙනසක් සහ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය. නිවසින් සහ පාසලෙන් ආරම්භ වන යහපත් චර්යාවන් ගමටත්, එතැනින් රටටත් ව්‍යාප්ත කළ යුතු බවත් සමාජ වගකීම සහ ස්වයං විනය පවත්වා ගැනිම පාසල් සිසුන්ට අත්‍යවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය. වැඩසටහනට එක් වු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා විසින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනයන්හී මූලික ව්‍යුහයන් හඳුන්වා දෙමින් ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ මූලිකාංග සහ ඒවායේ කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී.පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව සිසුවියන් දැනුවත් කිරීම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ, සහකාර අධ්යක්ෂ (පරිපාලන), මානව සම්පත් සංවර්ධන, චූලා හේරත් මහත්මිය විසින් සිදු කළ අතර, ප්රජාතන්ත්රවාදය, එහි ක්‍රියාත්මක වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ හා එහි භාවිතය පිළිබඳව සිසුන්ට ප්‍රායෝගික අවබෝධයක් ද ඇය විසින් ලබා දෙන ලදි.එදින මෙම වැඩසටහනේදී මාරවිල, ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායකවරිය තෝරා ගැනීමද සිදු වූ අතර, ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍යවරුන් සිය අමාත්‍යංශ හා ඒ යටතේ සිදු කිරීමට අපේක්ෂිත වැඩ පිළිවෙල පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරිණි. මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළහ.
2026-11-05
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (නොවැ. 04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලයේ සභාපති ගරු වැලන්ටිනා මැට්වියෙන්කෝ (Valentina Matviyenko) මහත්මිය විසින් ගරු කථානායකවරයා වෙත යොමු කරන ලද නිල ආරාධනයක් තානාපතිවරයා විසින් භාර දෙන ලදී. ඒ අනුව, දෙපාර්ශ්වයටම පහසු දිනයකදී 2027 වසරේ රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වන ලෙස ගරු කථානායකවරයාට ආරාධනා කර තිබේ.රුසියානු ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ආරාධනය විශේෂ වැදගත්කමක් වනු ඇති බව එහිදී අදහස් පළ විය. දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය ඉදිරියට ගෙන යාමටත්, පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමටත් යෝජිත සංචාරය වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයිද එහි විශ්වාසය පළ කෙරිණි.මෙම හමුවේදී දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

