E   |     |  

2024-06-07

පුවත් කාණ්ඩ : පුවත් 

තිරසාර සංවර්ධන ඉලක්ක, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්  නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

තිරසර සංවර්ධන සභාවේ  අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ  චමින්ද්‍රි සපරමාදු  මහත්මිය  විසින්  අදාළ දැනුවත් කිරීම්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබා දුන්නාය.

මෙහිදී  අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව ගෙන යන ප්‍රචාර හේතුවෙන් සමස්ත සංවර්ධන ක්‍රියාවලියට   බලපෑම් එල්ල විය හැකි බවයි.

එබැවින් නිසි කළමනාකරණයක් යටතේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ අවශ්‍යතාවය නියෝජ්‍ය  කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩි දෙනෙකුට යහපත සැලසීම උදෙසා ගෙන එන සංවර්ධන ව්‍යාපෘතිවල සුළු අඩුපාඩු   අතිශයෝක්තිය  නංවමින් ඒවා වැඩි වශයෙන් හුවා දැක්වීම තුළ එහි අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන්නේ රටේ ජනතාවට බව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

උමා ඔය සහ කොළඹ වරාය නගර වැනි ව්‍යාපෘති පිළිබඳව පැතිරුණු වැරදි මත නිසා එවැනි අහිතකර තත්ත්වයන් මතුවූ බවද ඒ මහතා සඳහන් කළේය.

2030 වසර වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී  මුහුණ දෙන අභියෝග සහ ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී තිරසර සංවර්ධන සභාවේ  අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ  චමින්ද්‍රි සපරමාදු  මහත්මිය  විසින් මන්ත්‍රීවරයන් දැනුවත් කරන ලදී.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් මෙම තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ කටයුතු නැවත සැලසුම් කළ යුතු බව වැඩමුළුව සඳහා සහභාගි වූ මන්ත්‍රීවරු මෙහිදී  පෙන්වා දුන්හ. එමෙන්ම මෙම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳවද  සාකච්ඡා විය.

තිරසර සංවර්ධන සභාවේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ  මහජන සේවා අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

 

11 1

3 5

6 10



සම්බන්ධිත පුවත්

2026-09-09

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.


2026-09-09

වසර 50කට අධික පැරණි යන්ත්‍ර ඉවත් කර නවීන තාක්ෂණයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණයට සැලසුම්

වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  මහතා විසින් යොමු කළ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


2026-09-08

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.09.08

“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i)    පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii)    පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii)    පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.•    2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි •    2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි •    2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි •    2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි •    2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි •    2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි •    2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි •    2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද  ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


2026-09-08

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks