පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-05-15
දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමග ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. එයට අමතරව සමස්ථ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
ඉහත කරුණු සාකච්ඡා වූවේ ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීය.
පාසල් ළමුන්ට ලබාදෙන දිවා ආහාර වේල සම්බන්ධ අවධානය යොමු කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූයේ රජයේ පාසල්වක ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ආහාර ලබා දීම 2024 වසරේදී ලක්ෂ 11 සිට ලක්ෂ 16 දක්වා ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව එක් දරුවෙකු සඳහා මෙහිදී වෙන් කෙරෙන මුදල රු. 80 සිට රු. 110 ක් දක්වා වැඩි කර තිබේ.
මිට අදාළ ආහාර වේලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද නිර්ණායක සකස් කර ඇති අතර ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධ පසු විපරම් සිදු කිරීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කොට්ඨාස නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙතින් සිදුකෙරෙන බව ද කාරක සභාවේ දී අනාවරණය විය.
පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බවත් ප්‍රකාශ විය.
පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවන නමුත් තවත් රු. බිලියන 4 ක පමණ අඩුවක් පවතින බව ද ප්‍රකාශ විය. පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල කැමැත්තකින් පසුවන නමුත්, සෘජුව රජය වෙත මෙම ආධාර ලබාදීමට ඔවුන් නොකැමැත්තක් දක්වන බව සභාපතිවරයා මෙහිදී පැවසීය. ගුරුදෙගුරු සමිති, පාසල් සංවර්ධන සමිති වැනි පාර්ශවයක් වෙත එම ආධාර ලබාදීම සඳහා නීතිමය බාධාවක් තිබේද යන්න සොයාබලන ලෙස ද හෙතෙම උපදෙස් දුන්නේ ය. එසේම, සමාජ මාධ්‍ය පාදක කරගෙන පැමිණිලි භාර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා වට්ස්ඇප් මගින් ලබා දෙන ආහාර වේලේ ප්‍රමිතිය පිළිබඳ නිතිපතා වාර්තා කිරීම වැනි ක්‍රමවේදයක් භාවිතා කරන ලෙස ද, ප්‍රකාශ කළේ ය.
එයට අමතරව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ 2024 මැයි මස පවුල් 1,000,000ට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ගෙවා ඇති බවත්, මෙයින් අන්ත දිළිඳු හා දිළිඳු යන වර්ගීකරණය යටතේ පවුල් 313,947 ක් හා 653,047 ට ප්‍රතිලාභ ගෙවා ඇති බවත් කාරක සභා සභාපතිවරයාගේ විමසුමට පිළිතුරු දෙමින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබුවද ප්‍රතිලාභ ගෙවීමට නොහැකි වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද, අභියාචනා විසඳීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව විසින් විමසන ලදී.
මේ වසරේ මැයි මස එක් එක් කාණ්ඩය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවූ මුදල් ප්‍රමාණය, ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව, ඉදිරිපත් කර ඇති අභියාචනා ප්‍රමාණය, අලුතින් තෝරා ගැනීමට නියමිත ප්‍රතිලාභීන් ප්‍රමාණය ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු හා 2024 වසරේ ජුලි මස සිට ලක්ෂ 24ට ප්‍රතිලාභ ගෙවීමට නියමිත බැවින් සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය හා නිර්ණායක පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නිර්දේශ කළේය.
එමෙන්ම, ග්‍රාම නිලධාරී වසමක අස්වැසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ කවර නිලධාරී කාණ්ඩයද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බැවින් ඒ පිළිබඳ වාර්තාවක්ද, විශාල පිරිසක් සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගෙන ඇති බව හෙළිදරව් වී ඇති බැවින් ප්‍රතිලාභ ලබා ගැනීමට අසත්‍ය තොරතුරු සැපයූ අයගේ සංඛ්‍යාලේඛන පිළිබඳ වාර්තාවක්ද කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නිර්දේශ කළේය.
විදාතා මධ්‍යස්ථාන සහ වාණිජ බැංකුවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වූ ණය යෝජනා ක්‍රමය මේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නා ලෙස ක්‍රම හා විධි කාරක සභාව මගින් මින් පෙර ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක වී ඇති ආකාරය කාරක සභා සභාපතිවරයා විසින් විමසන ලදී. මෙහිදී යෝජිත පවුල් බලාත්මක කිරීමේ වැඩසටහන පිළිබඳ අදාළ කාල සීමාවන් සමග තොරතුරු වාර්තාවක් තම කාරක සභාව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා පැවසීය.
වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන මාසික දීමනාව සළකා බැලීමේ දී මේ සඳහා වැය වන වියදම පිළිබඳ සවිස්තර වාර්තාවක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත ලබාදෙන ලෙස මෙහිදී සභාපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහා එහි සාමාජික රාජ්‍ය අමාත්‍ය ගරු නීතීඥ සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු එස්.එම්.එම්. මුෂාරෆ්, ගරු සංජීව එදිරිමාන්න, ගරු උදයන කිරිඳිගොඩ හා ගරු සුදත් මංජුල යන මහත්වරුන් ද එක්ව සිටියහ.
2026-09-30
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු සහ ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.නව ක්‍රිකට් පාලන ව්‍යුහය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර, නව නීතිරීති යටතේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඍජුව තීරණ ගැනීම සිදු නොකරන අතර, එම සංගම් පළාත් ක්‍රිකට් සංගම් හරහා කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී ප්‍රකාශ විය.පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 900ක මුදලක් සහ උපකරණ ලබා දෙන බවත්, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් කාරක සභාවට අනාවරණය විය.එමෙන්ම, ක්‍රීඩා සංගම් සම්බන්ධ විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ක්‍රීඩා සංගම් 33ක් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට නියමිත බවත් කාරක සභාවේදී ප්‍රකාශ විය.මහජනතාව සෞඛ්‍ය හා ව්‍යායාම කටයුතු සඳහා භාවිත කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණවලින් ගාස්තු අය කිරීම වහාම අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති අතර, ක්‍රීඩාව ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස නොව ජාතික සෞඛ්‍යය හා ප්‍රජා සුබසාධනය සඳහා වන රාජ්‍ය වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අවධාරණය කෙරිණි.සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක්(synthetic track) ලබා දීමේ සැලසුම යටතේ මීළඟ කෘත්‍රිම ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිත බවත් සඳහන් විය. දැනට දිවයිනේ කෘත්‍රිම ධාවන පථ දෙකක් පමණක් පවතින බවද කාරක සභාවේදී සඳහන් විය.අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය සහ හිඟුරක්ගොඩ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය, බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ කළුතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ පවතින ගැටලු විසඳීම පිළිබඳවද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරිණි.තවද, ජාත්‍යන්තර තරඟ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සහ නිල වශයෙන් හඳුනාගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජාතික තේරීම් හා විදේශ තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී කිසිදු ජාතියක් හෝ ප්‍රදේශයක් හෝ මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් කාරක සභාවට අනාවරණය විය.මෙම අවස්ථාවට ගරු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන් කමිටුවේ සමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2026-09-30
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද එම අනුකාරක සභාව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ පාසල්වල සිදු කර ඇති කාර්යයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකාරක සභාව දැනුවත් කළහ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති කාර්යයන් තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභාව අවධාරණය කළ අතර, වැඩසටහනේ ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබිණි.පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන්ම පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අනු කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.එමෙන්ම, පාසල් සඳහා විදුලි සංදේශ පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ආදර්ශ ප්‍රාථමික පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද අනුකාරක සභාව විසින් දීර්ඝ වශයෙන් විමසා බැලිණි.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.එම්. සමන්ත රණසිංහ මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.
2026-09-30
2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී, විදේශ ආයෝජන, විගාමිකයන් විසින් අරමුදල් විදේශයන් වෙත මාරු කිරීම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන පිළිබඳව කරුණු විමසා බැලීය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී 2026 අංක 01 දරන විදේශ විනිමය රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව අවධානය යොමු විය. විදේශ ආයෝජන සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්, ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යොමු කිරීමේදී අදාළ වන සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දේශීය සමාගම්වලට විදේශයන්හි සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.2026 අංක 02 දරන විදේශ විනිමය රෙගුලාසි සම්බන්ධයෙන් විගාමිකයන්ට ශ්‍රී ලංකාවේ පවතින වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේදී අදාළ වන ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, විගාමික දීමනාව යටතේ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම සහ කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව ද කාරක සභාවේදී කරුණු පැහැදිලි කෙරිණි.මේ අතර, විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම කළමනාකරණය කිරීම සඳහා පවතින තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.අපනයනකරුවන් පෙර වසරේ මෙරටට ගෙනන ලද අපනයන ආදායම් සහ එම ආදායම්වලින් කොටසක් විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා භාවිත කිරීමට ලබා දී ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය..එමෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලා යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඒ සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ආනයන හා අපනයන සම්බන්ධ බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දේශීය ඉදිකිරීම් ඇතුළු සමාගම් විදේශයන්හි ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේදී අවශ්‍ය වන බැංකු ඇපකර සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන් පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවේදී නීති රීති දැඩි කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සාමාජිකයින් අවධානය යොමු කළ අතර ආර්ථික වර්ධනයට බාධාවක් වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීම තුළින් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින ඔවුහු පෙන්වා දුන්හ. විනිමය රටින් පිටතට ගලායාම සීමා කිරීම හේතුවෙන් රට තුළට පැමිණෙන විනිමය ප්‍රමාණයද අඩුවිය හැකි බව එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේය.රෙගුලාසිවල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස සටහන් කර තිබියදී, නියෝගයේ ලැයිස්තුගත (listed companies) සමාගම් පුළුල් කිරීම සඳහා එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක සීමාව මාස 6කට පමණක් බලපැවැත්වෙන බවත්, එය 2027දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. එලෙසම, ලැයිස්තුගත නොවන (non-listed companies) සමාගම් සඳහා මෙම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක් වන බව ද ඔවුහු සඳහන් කළහ.විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සීමාවන්ට වඩා වැඩි විදේශ විනිමය පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කළ හැකි බවයි. එහිදී ව්‍යාපාරයේ ශේෂ පත්‍රය (balance sheet) පදනම් කර ගනිමින් එම අනුමැතිය ලබා දෙන බව ද පැහැදිලි කෙරිණි. කෙසේ වෙතත්, එවැනි අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ඉහළ වත්කම් සහිත ව්‍යාපාරවලට වැඩි වශයෙන් හිමිවීමේ ඉඩකඩක් පවතින බවට ද මෙහිදී අදහස් පළ විය.
2026-09-25
නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

