02

E   |   த   |  

2024-04-26

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්න ජයසුමන මහතාට

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. එම සංසදය සදහා නව නිලධාරී මඩුල්ලක් තෝරා පත්කරගැනීම සදහා  2024.04.25 වැනිදා පාර්ලිමේන්තුවේදී  පැවති මංගල රැස්වීමේදී මෙම තෝරා පත්කර ගැනීම සිදුවිය.

එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ යන මහත්වරු තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරු ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ  වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්ම මහත්මීහූ තේරී පත්වූහ.

තවද සංසදයේ සම කැඳවුම්කරුවන් ලෙස  වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු ද තේරී පත්වූහ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ අභිනව සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව වෛද්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. එසේම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉටුකරන කාර්යභාරය ඇගයීමට ලක්කළ නව සභාපතිවරයා එම තනතුරට  වෛද්‍යවරයෙකු පත්වීම පිළිබඳව සතුටු වන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින මෙරට සෞඛ්‍ය අංශයේ උන්නතිය සදහා පක්ෂ පාට භේදයකින් තොරව මෙම සංසදයට මැදිහත්විය හැකි බවයි. ලෝකයේ විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවන් සපයන රටවල් අතර ඉදිරියෙන්ම සිටින මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා අයවැයෙන් වෙන් කරන මුදල තවත් වැඩි කර ගැනිමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. එසේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-10-02

ඔක්තෝබර් 06 සිට 09 දක්වා පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා  ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.මේ අනුව, ඔක්තෝබර් 06 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ අංක 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක්, විදේශ විනිමය පනත යටතේ අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 07 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ඉන්පසු, පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධි (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.ඔක්තෝබර් 09 සිකුරාදා  පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට තීරණය වී ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාපුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීමගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමගරු ලසිත් භාෂණ ගමගේ මහතාමාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමගරු චමින්ද විජේසිරි මහතාක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ණය වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීමඅනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. 


2026-10-01

විභාග සමත්වීමට පමණක් සීමා නොවී ප්‍රායෝගික ජීවන කුසලතාවලින් සන්නද්ධ දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගරු  අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පැවසුවාය.අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පසුගියදා (සැප්. 29) පැවැත්විණි.මෙහිදී අදහස් දැක්  වූ අග්‍රාමාත්‍යතුමිය, වත්මන් අධ්‍යාපන පද්ධතිය මගින් විභාග සමත් වීමට හැකියාව ඇති දරුවන් බිහි කළද, එම දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසලේදී ලබා ගන්නා දැනුම සැබෑ ජීවිතයේදී භාවිත කිරීමේ හැකියාව, සමාජීය හා ආවේගාත්මක කුසලතා මෙන්ම අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධය ද වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.පාසල් අතර පවතින සම්පත් විෂමතාව අවම කරමින් සියලු පාසල් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සාධාරණව ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. එමෙන්ම, පාසල දරුවන්ට ආරක්ෂිත, ආකර්ෂණීය සහ සතුටින් රැඳී සිටිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ  අග්‍රාමාත්‍යතුමිය  දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් පාසල් ක්‍රීඩා පහසුකම්, ක්‍රීඩා උපකරණ සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.මෙහිදී තරුණ පරපුර අමතමින්, අග්‍රාමාත්‍යතුමිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සක්‍රීය පුරවැසි සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. දේශපාලනය යනු පක්ෂ දේශපාලනයට පමණක් සීමා වූවක් නොවන බවත්, සමාජය තුළ සක්‍රීය පුරවැසියන් ලෙස මැදිහත්වීම ද එහි වැදගත් කොටසක් බවත් ඇය පැවසුවාය.මේ අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කළේය.තරුණ පරපුර අමතමින්, නියෝජ්‍ය කථානායකවරයා බහුවිධ භාෂා දැනුමේ වැදගත්කම මෙන්ම විනය සහ නීතියට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. රටේ අනාගතය හැඩගැස්වීමේදී දේශපාලන හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණ පරපුර සක්‍රීයව දායක විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.ඕනෑම වෘත්තියක් ගෞරවයෙන් හා කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කමත්, අන් අයගේ වෘත්තීන් අගය කරමින් ඒවායින් ඉගෙනීමේ අවශ්‍යතාවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සමාජය තුළ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා මානසිකත්වයේ පරිවර්තනයක් අවශ්‍ය බවත්, විනයගරුක හා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින්  කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ ශිෂ්‍ය මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුන් විසින් තම අමාත්‍යාංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කරන ලදී.මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදෙන හෙට්ටිආරච්චි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) රංජිත් ප්‍රේමතිලක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) හසිනි විජය වික්‍රම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පාලන) චාමලී එදිරිසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සමාජ විද්‍යා) ඒ.කේ.එස්.කේ රුපදේව, කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව බාර  ආචාර්ය කේ.ඩබ්ලිව් ක්‍රිෂාන් චිනතක සහ නදීශා නිර්මලී යන මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-30

2027 අයවැය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

අයවැය පළමුවර කියවීම ඔක්තෝබර් 07 අයවැය කථාව නොවැම්බර් 122027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 25) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමතිය හිමි වී තිබේ.  මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.   මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව)  සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින  07ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව නොවැම්බර් 20 ප.ව. 6.00ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 14 ප.ව. 6.00 ට අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ.මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුව මෙම සෑම දිනකම පෙ.ව. 9.30ට රැස්වීමට නියමිතය.මෙම  සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු, පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. ඒ අනුව, විවාදය පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දෙදින හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා  රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය.තවද, දෙවනවර කියවීමේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට  60% ක් සහ විපක්ෂයට 40% ක් ලෙස ද,  කාරක සභා අවස්ථාවේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට 40% ක් සහ විපක්ෂයට 60% ක් වන ලෙස ද කාලය වෙන් කිරීමට මෙහිදී අනුමතිය හිමි වී ඇත. එසේම අමාත්‍යාංශයක වැය ශීර්ෂ සම්බන්ධ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය අදාළ දිනය අවසානයේ දී ප.ව. 6.00ට පැවැත්වීමටත් නියමිතව ඇත.


2026-09-25

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයිවිසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (සැප්. 25) සිය සහතිකය සටහන් කළේය.විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්  කෙටුම්පත  දෙවැනිවර කියවීමේ  විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර,  එහිදී  පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් සංශෝධනය කර ඇත.එමෙන්ම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත,  විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද  සිය සහතිකය සටහන් කළේය.පනත්  කෙටුම්පත දෙවැනිවර කියවීමේ  විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එහිදී  පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් පනත්  කෙටුම්පත අද  සම්මත කෙරිණි.මෙම පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යා‍මේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට සංශෝධනය කර ඇත. අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කරමින්  අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට   අපේක්ෂා කෙරේ.ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks