01

E   |   த   |  

2024-04-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක - කඩිනමින් අවශ්‍ය පියවර ගෙන මැයි 15ට පෙර ප්‍රගතිය දැනුම් දෙන ලෙස කෝපා කමිටුවෙන් දැනුම් දෙයි

  • වසර 4ක් පමා වූ ඊ-පාස්පෝට් නිකුත් කිරීම කඩිනම් කිරීමටත් නියෝග...
  • ප්‍රාදේශීය කාර්යාල මගින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි ක්‍රියාවලියක් නොමැතිවීම නිසා  පවතින තදබදය ඇතුළු අඩුපාඩු පිළිබඳව ද අවධානය…
  • රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමේන් පසුවද මෙරට රැදී සිටිමින් දකුණු ප්‍රදේශයේ ව්‍යාපාරවල නිරත වීම පිළිබඳවද අවධානය…

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවිනොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.  

2017 වසරේදී රුපියල් මිලියන 2.1 ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් අනාවරණය විය. ඒ සදහා මැදිහත්වූ නිලධාරීන්ද මේවන විට ස්ථාන මාරු ලබා ඇති බව ද අනාවරණය විය. මෙවැනි ආයතනවල ඇතැම්පිරිස් කැමරා උපකරණ සවිකිරීමට අකමැත්තක් පළ කරන බවද පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසත් මැයි 15ට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දැනුම් දුන්නේය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා පසුගියදා (අප්‍රේල් 02) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය.

ගුවන්තොටුපළ ඊගේට් (E-gate) පහසුකමට අදාළ උපාංග  මිලදී ගැනීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය  විසින් දැනුම් දී තිබුණද  තවමත් ඒ සදහා පියවර නොගැනීම නිසා සමස්ත ඊගේට් පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම පිළිබඳව  කාරක සභාවේ බලවත් අප්‍රසාදය මෙහිදී පළ විය. ඒ අනුව මෙහි ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ලබන අප්‍රේල් 15 වැනිදාට පෙර ලබා දෙන ලෙස ද දැනුම් දුන්නේය. ගුවන් තොටුපළ තදබදය අවම කිරීම සදහා ස්වයං පරීක්ෂාවන් කිරීම ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරන ලදී.

විද්‍යුත් ගමන් බලපත්‍රය (E-Passport) නිකුත් කිරීම වසර 4ක් මුළුල්ලේ ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීන් පැවසූහ. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව නියෝග කළේය.

ගුවන් තොටුපළ රාජකාරී කටයුතු කාර්යක්ෂමකව සිදු කිරීම සදහා රාත්‍රී කාලයන්හීදී ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව කාර්යබහුල වේලාවන්හි වැඩි වශයෙන් ඵලදායි ලෙස නිලධාරීන් යෙදවීමට සැලැස්මක් සකස් කරන ලෙසත් එය අප්‍රේල් 15ට පෙර කාරක සභාවට ලබා දෙන ලෙසද උපදෙස් ලබා දීම සිදු විය.

මෙරට ගුවන් ගමන් බලපත්‍රය ලොව ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල 97 වැනි ස්ථානයේ ඇති බව නිලධාරීන් පැවසූහ. ඒ සදහා බලපාන නිර්නායක පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ලංකාව ලෝකයේ ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගෙනඒම සදහා වැඩපිළිවෙලක් සකස්කොට කාරක සභාව දැනුවත් කරන ලෙස ද කෝපා සභාපතිවරයා දැනුම්දෙන ලදී.

ප්‍රාදේශීය කාර්යාල මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම නිසා  ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ඇතුළු අඩුපාඩු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ධාරිතාව වැඩි කිරීම සදහා නිවැරදි යාන්ත්‍රණයක් සකස් කොට ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.  

රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමේන් පසුවද මෙරට රැදී සිටිමින් දකුණු ප්‍රදේශවල ව්‍යාපාරවල නිරත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටලු පවතින බව නිලධාරීහු පැවසුහ. මේ අනුව මේ සම්බන්ධ තොරතුරු ලබා දීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දී ජනතාවගේ සහය ලබා ගැනීමේ වැදගත්කම ද  මෙහිද පෙන්වා දෙන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ගරු ප්‍රසන්න රණවීර, ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු ජේ.සී අලවතුවල, ගරු වීරසුමන වීරසිංහ, ගරු මධුර විතානගේ, ගරු මේජර් ප්‍රදීප් උදුගොඩ, ගරු ජයන්ත කැටගොඩ, ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති, ගරු එම් උදය කුමාර් සහ ගරු කරුණාදාස කොඩිතුවක්කු යන මහත්ම මහත්මීහු ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-11-14

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් - යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-13

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේ දී සාකච්ඡා කෙරේ

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ  II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය  කරන ලදී.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks