E   |     |  

2024-04-04

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල මත පදනම්ව අළෙවි කිරීමෙන් එක් කිලෝවක් සඳහා වෙළෙන්දන් ලැබූ ලාභය රු. 100-1000 අතර බව ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වෙයි

  • විගණකාධිපතිවරයා විසින් පවත්වනු  ලබන වෝහාරික විගණනය අවසන්  වන තෙක් විදේශයන්හි සේවයේ නියතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවන ලෙස උපදෙස්
  • එකතු කළ හැකි හිඟ බදු රු. බිලියන 188 අය කර ගැනීම සඳහා දේශීය ආදායම් පනත අනුව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස්
  • වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීම වෙනුවට මාසයකට රු. 100000කට වඩා ආදායමක් උපයන පුද්ගලයන් පිළිබඳ දත්ත ඩිජිටල් වේදිකාවකට ගැනීම උපදෙස්

 

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල මත පදනම්ව අළෙවි කිරීමෙන් වෙළෙන්දන්  එක් කිලෝවක් සඳහා ලැබූ ලාබය රු. 100-1000 අතර බව ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අප්‍රේල් 02) පාර්ලිමේන්තුවේදි රැස් වූ අවස්ථාවේදීය.  

මෙහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝවක වෙළෙඳපොළ මිල සහ ආනයනික මිල අතර විෂමතාව පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර  ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තම්න්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය යන රාජ්‍ය ආයතන නිලධාරීන් මේ සඳහා කැඳවා තිබුණ.

2018 වසරේ සිට රජය විසින් ආනයනික භාණ්ඩ මත පනවන ලද බදු ආදායමේ අඛණ්ඩ පහත වැටීමක් සිදුව ඇති බවත්, අමෙරිකානු ඩොලරයේ අගයට අනුරූපව ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) නොගැලපීම මීට හේතු වී ඇති බවත් මෙහිදී   අනාවරණය විය. ඒ අනුව මෙම භාණ්ඩ මිල දි ගැනීම සඳහා අධික මුදලක් වැය වන බැවින් පාරිභෝගිකයන්ට මෙමගින් ප්‍රතිලාභ ලැබී නොමැති නමුත්, මෙම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කිරීමෙන් වෙළෙන්දන් සැලකිය යුතු ලාභයක් ලබා ඇති බවත්, එම ලාභය වෙළෙඳපොළ මිල මත පදනම්ව එක් කිලෝවකට රු. 100-1000 අතර වී ඇති බවත් මේ අනුව අනාවරණය විය.

එසේම මෙම කරුණු මත පදනම්ව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක වෙළෙඳපොළ මිල සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීමෙන් පසු රේගුවෙන් භාණ්ඩ නිදහස් කරන මිල අතර පවතින දැඩි විෂමතාව පිළිබඳවද මෙහිදි සාකච්ඡා කරන ලදී.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ පවතින සියලු වාර්තා සතිපතා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස  කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.
 
තවද 2525 කාණ්ඩයේ භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ගෙන් එකතු කළ අගය මත බදු (VAT) අය කර ගත හැකි පරිදි ඔවුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීම සහ 7000 කාණ්ඩය යටතේ භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැදගත්කම දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවධාරණය කළ සභාපතිවරයා, 2018 සිට 2023 දක්වා කාලය තුළ ආනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී උපයන ලද අයුතු ලාභ සඳහා දේශීය ආදායම් පනතට අනුව බදු අය කර ගැනීමට (super gain tax) හා එහි ප්‍රගතිය මේ මාසයේ අග වන විට කාරක සභාවට වාර්තා කරන ලෙස  උපදෙස් ලබා දුන්නේය.

එසේම උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනුවට වෙළඳ අමාත්‍යාංශය විසින් සෘජුව ආනයනය කර පාරිභෝගිකයා වෙත ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද කාරක සභාව විසින් උපදෙස් ලබා දුන් අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රේගුවෙන් නිදහස් කළ මිල, වෙළඳපොල මිල හා උපරිම සිල්ලර මිල ආදී තොරතුරු වෙබ් අඩවි, ජංගම යෙදුම් හා සමාජ මාධ්‍ය හරහා ජනතාව වෙත දැනුම් දීම සඳහා කටයුතු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර විගණකාධිපතිවරයා විසින් පවත්වනු  ලබන වෝහාරික විගණනය අවසන්  වන තෙක් විදේශයන්හි සේවයේ නියතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවන ලෙස කාරක සභාව විසින් අවශ්‍ය පාර්ශ්ව වෙත උපදෙස් ලබා දීමද මෙහිදී සිදු කරණු ලැබීය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු එකතු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරුණු අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පහත උපදෙස් ලබා ලබාදීමද සිදු විය. ඒ අනුව,

  • එකතු කළ හැකි හිඟ බදු රු. බිලියන 188 අය කර ගැනීම සඳහා දේශීය ආදායම් පනත අනුව වහාම ක්‍රියාමාර්ග ගැනීම (දේපළ/ වත්කම් අත්පත් කර ගැනීම වැනි)
  • නෛතික ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් රඳවා ගත් බදු වසර 3ක් ඇතුලත අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  • කෝටියට වැඩි බදු පැහැර හැරි තැනැත්තන් හා ආයතන නාම ලේඛනය සතියක් ඇතුළත කාරක සභාව වෙත ලබා දීම
  • ආදායම් ‍පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) පවත්වා ගෙන යාම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් ස්ථාපිත කිරීම
  • ආදායම් ‍පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට (RAMIS) අදාළව අත්සන් කරන ලද ගිවිසුමේ තොරතුරු තෙවන පාර්ශ්වයකට ලබා දිය හැකිද යන්න පිළිබඳ නීතිපති මතය කාරක සභාව වෙත ලබා දීම
  • වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීම වෙනුවට මාසයකට රු. ලක්ෂයට වඩා ආදායමක් උපයන පුද්ගලයන් පිළිබඳ දත්ත (ලක්ෂ 25) ඩිජිටල් වේදිකාවකට ගැනීම,

                     යන උපදෙස් ලබා ලබාදීමද මෙහිදී සිදු විය.

 

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ලසන්ත අලගියවන්න, ගරු සිසිර ජයකොඩි සහ ගරු අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න,ගරු  දයාසිරි ජයසේකර, ගරු උදයන කිරිඳිගොඩ, ගරු වසන්ත යාපාබණ්ඩාර, ගරු ශාන්ත බණ්ඩාර, ගරු ජයරත්න හේරත්, ගරු චන්දිම වීරක්කොඩි, ගරු අලි සහීර් මවුලානා, ගරු අසංක නවරත්න, ගරු ගාමිණී වලේබොඩ සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද සහභාගී වූහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2025-11-27

උසස් නිලතල පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් අනුමත කරයි

රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.


2025-11-27

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතාකර ගියේදැයි පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීම සඳහා පවතින නීතිමය බාධක පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා  පවතින   නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක  වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ  එම  කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


2025-11-26

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන්  21.11.2025 වන  දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින්  කාරක සභා සභාපතිවරයා  මෙරට ගුණාත්මකභාවයෙන් පහළ  උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින්  දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2025-11-26

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 12ක කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලේ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ  විනිසුරුවරුන්ගේ 2023 සහ 2024  කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ ‍සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ  2024 වසරේ  වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.   






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks