පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පසුගිය 19 වැනිදා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (මාර්තු 21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.
ඒ අනුව විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය පසුගිය 19, 20 සහ අද (21) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 4.30ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජය වූ අතර ඉන් අනතුරුව කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදි.
2026-09-24
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති අතිගරු කාලිඩ් නසර් අල් අමෙරි මහතා (Khaled Nasser Al Ameri) සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු විය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවා ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පිළිගනිමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දීර්ඝකාලීනව පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කළේය. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත විශාල ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය හරහා දෙරටේ ආර්ථිකයන්ට ලැබෙන දායකත්වය ඇතුළුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඔහු සිය ස්තූතිය පළ කළේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද නියෝජ්‍ය කථානායකවරයා සිය සතුට පළ කළ අතර, දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද, දසවන පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා, එමඟින් පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කළේය.ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙරටේ ආර්ථිකයන්ට ලබාදෙන දායකත්වය පිළිබඳව තානාපති කාලිඩ් නසර් අල් අමෙරි මහතා සිය ප්‍රසාදය පළ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ නිපුණතාව, සාමකාමී ස්වභාවය සහ ගෞරවනීය හැසිරීම හේතුවෙන්, ඔවුන්ට ඉහළ පිළිගැනීමක් හිමි වන බවද ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් වෙළෙඳ සබඳතා මෙන්ම දෙරට අතර පවතින ශක්තිමත් ගුවන් සම්බන්ධතා පිළිබඳව ද තානාපතිවරයා අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සමාජීය වටිනාකම් සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීමේ ස්වභාවය පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ සුහදශීලීත්වය සහ සිනහව ශ්‍රී ලංකාවේ වටිනා සුවිශේෂී ලක්ෂණයක් බව සඳහන් කළේය. සමීප සහ විශ්වාසනීය මිතුරෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සිය සහයෝගය ලබාදෙන බව ද තානාපතිවරයා මෙහිදී යළි අවධාරණය කළේය.
2026-09-24
හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දුන්නේය.කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මෙලෙස පත් කර තිබේ.වෘත්තියෙන් නීතිඥවරයෙකු වන හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මඩකලපුව, ඔට්ටමාවඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇත. එමෙන්ම, ඒ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියි.
2026-09-23
අද විවාදට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී සම්මතයිබලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (සැප්. 23) විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය. මේ අතර අද විවාදයට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උත්ශ්‍රේණිගත කිරීමේදී " අධ්‍යක්ෂවරයා" යන තනතුරු නාමය "අධ්‍යක්ෂ ජනරාල්වරයා" ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී ඇත. එමෙන්ම, උක්ත පනතේ සඳහන් " නිවේදිත කෘෂිකාර්මික භෝග '' ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝගවල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබිණි.ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ " අපනයන කෘෂිකර්ම භෝගය " යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල භෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්" ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.
2026-09-23
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (සැප්. 22) සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks