පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-03-07
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (මාර්තු 07) පැවති අවස්ථාවේදීය.
මෙහිදී සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරන ලදී.
එසේම ගරු ගාමිණි වලේබොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු ගරු ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
කාරක සභාව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමඟින් එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සදහන් කළේය.
කෝප් කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සහ නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට හැකිවන ලෙස ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර දිසානායක, ගරු රවුෆ් හකීම්, ගරු ඩිලාන් පෙරේරා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු හේෂා විතානගේ, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. රාමේෂ්වරන්, ගරු ගාමිණී වලේබොඩ, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ, ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහූ ද පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

