පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-03-07
රටේ පුරවැසියා පාර්ලිමේන්තු ක්‍රියාදාමයට වඩාත් සක්‍රීයව දායක කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විවෘත පාර්ලිමේන්තු සංකල්පය අනුව මෙරට තරුණ ප්‍රජාවට අද වන විට වැඩි වශයෙන් පාර්ලිමේන්තු කටයුතු සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලැබී ඇති බවත්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ දැනුම තරුණ ප්‍රජාවට ඉතා වැදගත් බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පසුගියදා පෙන්වා දුන්නාය.
පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රියාපටිපාටි පිළිබඳ පැවැත්වූ කෙටි කාලීන පාඨමාලාව සාර්ථකව නිමාකළ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් සදහා පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මහලේකම්වරිය මේ බව පැවසුවාය. මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පසුගියදා (පෙබ. 26) පැවති මෙම අවස්ථාවට රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජී.ඒ.එස්. ගිනිගද්දර මහත්මිය, පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන්, කථිකාචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරිය පවසා සිටියේ විෂය ක්ෂේත්‍ර 17 ක් ආවරණය කරමින් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමටත් ඒවා සඳහා තරුණ නියෝජිතයන් 500 දෙනෙකු තෝරා ගෙන ඔවුන්ට සක්‍රීය ලෙස මෙම කාරක සභාවලට සහභාගීවීටත් අවස්ථාව හිමිවී ඇති බවයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දැනුවත්වීම මෙන්ම දේශපාලනික සාක්ෂරතාව ඉතා වැදගත් බව ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පෙන්වා දුන්නාය.
මෙහිදී අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජී.ඒ.එස්. ගිනිගද්දර මහත්මිය පවසා සිටියේ අගනුවරින් දුර බැහැර පිහිටි රජරට විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පැමිණ ඒ ප්‍රායෝගික අත්දැකීම් සහිත දැනුම විද්‍යාර්ථීන්ට ලබා දීම සම්බන්ධයෙන් සතුටුවන බවයි. එසේම මෙවැනි පාඨමාලාවන් හරහා විද්‍යාර්ථීන් පොත පතට සීමා නොවී වැඩ ලොවට පිවිසීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා ගත යුතු බවත් රජරටින් එහා ලෝකය දකින්නට අවස්ථාව ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පළ කරන බවත් ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවේදී ප්‍රධාන දේශනය සිදුකරමින් රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය ඊ.එම්.එස්. ඒකනායක මහතා පවසා සිටියේ ඉතා සාර්ථක ලෙස පැවති මෙම කෙටි කාලීන පාඨමාලාව සමඟ විද්‍යාර්ථීන් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවයි. එසේම ඉදිරි වසරවලද මෙම පාඨමාලාව පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
මෙහිදී පාඨමාලාව සාර්ථකව නිමකළ සියලු විද්‍යාර්ථීන් සදහා සහතිකපත් ප්‍රදානය කළ අතර පාඨමාලාව අවසානයේ විශිෂ්ටතම නිබන්ධන ඉදිරිපත් කළ විද්‍යාර්ථීන් 10 දෙනා සඳහා විශේෂ ත්‍යාග ප්‍රදානයක්ද සිදුවිය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා අංශය, රජරට විශ්වවිද්‍යාලය සමග එක්ව සංවිධානය කළ මෙම කෙටිකාලීන පාඨමාලාව සදහා USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයෙහි (NDI) සහය ද හිමිවිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පුස්තකාලයාධිපති සියාත් අහමඩ්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා කළමනාකාරිණි බුද්ධිනි රාමනායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරී හා මහලේකම්තුමියගේ සම්බන්ධීකරණ ලේකම් සුජීවී ගමගේ, පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා නිලධාරීන් වන ඉෂාරා වික්‍රමසිංහ, දුමින්ද වික්‍රමසිංහ, යශ්රි මොහොමඩ්, මහජන සබඳතා කාර්යාල සම්බන්ධීකාරක පියසිරි අමරසිංහ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) ජ්‍යෙෂ්ඨ නිලධාරිනි තරංගා ගුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2026-09-08
“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i) පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii) පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii) පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.• 2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි • 2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි • 2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි • 2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි • 2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි • 2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි • 2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි • 2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2026-09-08
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks






