පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-03-05
ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට අද (මාර්තු 05) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ විය.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමට මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ. මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම පවත්වන ලදී.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව මහබැංකු පනත් කෙටුම්පතෙහි ස්වාධීන තීරණයක් ලෙස වැටුප් ඉහළ නැංවීම සදහා ප්‍රතිපාදන තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ඒ සදහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ නිසා එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ බව ද පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ. මේ අනුව නව පනතින් මහබැංකුවේ කටයුතු ස්වාධීන කිරීම සදහා ප්‍රතිපාදන තිබුණද කිසිදු තැනක ස්වාධීන තීරණය මත වැටුප් වැඩි කිරීම සදහා අවස්ථාව නොමැති බවත් මෙහිදී පක්ෂ නායකයෝ කරුණු දැක්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව මේ සදහා ප්‍රතිපාදන ඇති බවත් පරිපාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් සම්බන්ධ සියලුම වියදම් පියවා ගැනීම සදහා මහබැංකුවේ අරමුදල් භාවිතා කිරීමේ බලය පනතින් ඇති බවයි.
එහෙත් පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ වියදම් පිළිබඳ සදහනක් පනතේ තිබුණද වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන නොමැති බවයි. පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණද අනුමතිය සදහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු බව මෙහිදී පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.
එසේම මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ මෙම වියදම් සිදු කරන්නේ මහබැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවන බවයි. මහබැංකු අරමුදල් භාවිතා කිරීමට බලතල පනත මඟින් ලබා දී ඇති බවත් නිලධාරීන් පැවසූහ. මෙි සම්බන්ධව මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස පක්ෂ නායකයන් ඉදිරියේ කරුණු පැහැදිළි කළහ.
මහබැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සදහා ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සදහා වගකියන පාර්ලිමේන්තුවේ අනුමතිය ඒ සදහා අවශ්‍ය බවත් මෙහිදී පක්ෂ නායකයෝ පැවසූහ.
සෑම වර්ෂ තුනකට වතාවක් වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර සාමූහික ගිවිසුමකට (Collective Agreement) අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදු කර ඇති බවත් පෙර වසරවල ද මෙය සම්ප්‍රදායක් ලෙස සිදු කර ඇති බවත් නිලධාරීහු පැවසූහ. කෙසේ වෙතත් මෙවැනි ගිවිසුමක් නීත්‍යනුකූල වීම සදහා කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබා යුතු බැවින් එය සිදුකර තිබේද යන්න මෙහිදී ප්‍රශ්න කරන ලදී. එහිදී නිලධාරීන් පැවසූවේ එවැනි අනුමතියක් ලබා ගෙන නොමැති බවයි. මෙවැනි සාමූහික ගිවිසුමක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ එය කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමෙන් පමණක් බවත් පක්ෂ නායකයෝ මෙහිදී පැවසූහ.
කෙසේ වෙතත් පක්ෂ නායකයන් පෙන්වා දුන්නේ නව පනතක් මඟින් මහබැංකුව ස්වාධීන කිරීමෙන් අපේක්ෂා කළේ ස්වාධීන තීන්දු ගෙන වැටුප් වැඩි කිරීම නොව දේශපාලන මැදිහත්වීම් වලින් තොරව රටේ ආර්ථිකයට අදාළ නිවැරදි ප්‍රතිපත්ති සැකසීම බවයි.
යම් අයුරකින් නීතියට අනුව හැකියාවක් තිබුණ ද රට සහ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවැනි මොහොතක අසංවේදී ලෙස මෙලෙස වැටුප් වැඩි කර ගැනීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවත්, අනුමත කළ නොහැකි බවත් මෙහිදී පක්ෂ නායකයෝ මහබැංකුවේ නිලධාරීන්ට අවධාරණය කර සිටියහ. එසේම වැටුප් වැඩි කළ යුතු අංශ ගණනාවක් තිබියදී එක් පිරිසක් පමණක් වරප්‍රසාද හිමිකර ගැනීම සාධාරණ නොවන බව ද පෙන්වා දුන්හ.
එසේම මෙම වැටුප් වැඩි කිරීම නිසා මාසිකව අමතර රු. මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී අනාවරණය විය.
2026-09-14
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බවද වැඩ බලන මහ ලේකම්වරයා සඳහන් කර ඇත.ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.
2026-09-11
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහුගේ ඇගයීමට ලක් විය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.
2026-09-11
• විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයටසැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනක ම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, සැප්තැම්බර් 22 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත. අනතුරුව ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත. සැප්තැම්බර් 25 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



