01

E   |     |  

2024-01-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මේ වන විට මෙරට වැසී ඇති ගොවිපොළවල් සංඛ්‍යාව 14000 ඉක්මවන බව ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි

  • මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා - අමාත්‍ය මහින්ද අමරවීර මහතා
  • දෙපාර්තමේන්තුව සතු දත්ත පද්ධතිය යාවත්කාලීනව පවත්වාගෙන යාමේ වැදගත් කම කමිටුව අවධාරණය කරයි.
  • කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය
  • කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අවධානය
  • අභිජනනය සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ එළුවන්  104ක් මේ වන විට මිය යාම පිළිබඳ අවධානය

 

මේ වන විට මෙරට ගොවිපොළවල්  14000  කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් මෙය පළාත් වශයෙන් ලැබුණු දත්ත අනුව හඳුනාගෙන ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය. එසේම  මෙම ගොවිපොළවල් අතරින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත් සත්ත්ව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ.

මෙහිදී කෝපා කමිටුව පෙන්වාදුන්නේ සත්ත්වයින් සොරකම් කිරීම නිසා කුඩා පරිමාණ ගොවියන් කලකිරීම හේතුවෙන් පමණක් ගොවිපොළවල් වැසී යන්නේ යැයි පැවසීම පිළිගත නොහැකි බවයි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශවීම සහ ඉඩම් ආශ්‍රීත ගැටලුද මේ සඳහා හේතුවී ඇති බවයි. මේ අනුව පැහැදිලි දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේය.

එසේම පවතින දත්ත යාවත්කාලීන කරගනිමින් දත්ත පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමේ වැදගත් කමද මෙහිදී කමිටුව අවධාරණය කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 ජූලි 06 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජන. 11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මේ සඳහා කමිටුවේ ආරාධනයෙන් කෘෂිකර්ම විශය භාර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාද සම්බන්ධ විය. මෙරට දේශීය කිරි අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර අමාත්‍යවරයා මේ අනුව පෙන්වා දුන්නේ මිල්කෝ සමාගමට දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බවයි.

එසේම පසුගිය කමිටු වාරයේදීද සාකච්ඡා වූ කිරි නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ ජාතික  ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් බවත් එය අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කොට ඇති බවත්ය.

එසේම ඉඔුලදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ එළුවන්  104ක් මේ වන විට මිය යාම පිළිබඳව ද මෙහිදී කමිටුව අවධානය යොමු කළේය. පසුගිය කමිටු අවස්ථාවේදීද මේ පිළිබඳ සාකච්ඡා වූ නිසා වර්තමානයේ මෙම එළුවන් ක්ෂේත්‍රයට මුදාහැරීම පිළිබඳ ප්‍රගතිය විමසා සිටීම සිදුවිය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මාසයක් පමණ ඇතුළත මෙම ඉතිරි සත්ත්වයින් ක්ෂේත්‍රයට මුදාහැරීමට සූදානම් කොට ඇති බවයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද මෙහිදී කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

කෘත්‍රිම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ඒ. එල්. එම්. අතාවුල්ලා, ගරු අශෝක් අබේසිංහ සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-05-29

ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ලබා ගැනේ

වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  විසින් පවත්වන ලදි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය. ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු  සංසදය බහුවිධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.ඒ අනුව, දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්,  නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය.  මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ. 


2026-05-29

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා පාර්ලිමේන්තුයව්දී සිදු කෙරිණි. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.   විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ  වැඩ තහනමට ලක්ව සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවත් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග නිසා  මෙලෙස වැටුප් ගෙවීම සිදු වන බවත් එසේ වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථ වල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවත් නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.එසේම ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා වන අනු කාරක සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව, කාර්යක්ෂම සහ සතුටුදායක සේවා උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කිරීම සඳහා වන අනු කාරක සභාවේ අවසන් වාර්තාව සහ අතුරු වාර්තාව පිළිවෙළින් ඉදිරිපත් කිරීම සිදු විය.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග ගුණසේකර, (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-05-29

දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ  අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී  පවත්වන ලදී.එම සංසදයේ සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.මෙහිදී එල්-නිනො සහ ලා-නිනෝ දේශගුණික තත්ත්වයන්, අලි ඇතුන් සහ දිවියන්ගේ ජීවන රටාවට ඇති කරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු  කෙරුණු අතර  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළහ.දේශගුණික විපර්යාස නිසා  වනජීවීන්ට සිදුවන බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවත්, එහි පළමු පියවර ලෙස අලි ඇතුන් සහ දිවියන් සම්බන්ධ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ පාර්ශ්වයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත්  පැවසීය.මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ පරිසරවේදීන් ද සහභාගී වී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාවට අදාළ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චම්පික හෙට්ටිආරච්චි, රියාස් ෆාරුක් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී වූහ.


2026-05-29

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු ගරු අමාත්‍ය (නීතීඥ) හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙලෙස අනුමැතිය හිමිවිය. 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියමය 2026.05.19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගත් මෙම ගිවිසුම මගින් සාපරාධී කාරණාවලදී දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීමට මඟ පාදයි. ඒ අනුව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මෙම නියමය මගින්, ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා භාවිත කිරීමට අදහස් කරන ලද අරමුදල්, අපරාධයකින් උත්පාදිත දේ සහ අපරාධ මෙවලම් සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ මැඩ පැවැත්වීම සම්බන්ධ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම මගින් ගිවිසුමේ දෙපාර්ශවයේම භූමිකාව වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.     අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර 2018 වසරෙන් පසු බඳවා ගැනීම් සිදු නොකිරීම නිසා මේ දක්වා පුරප්පාඩු  2647 ක් ඇති බව නිලධාරීහු පැවසූහ. ඒ අනුව බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව, ගරු මන්ත්‍රීවරු අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවාට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.    ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතීඥ) සුනිල් වටගල මහතා ඇතුළු ගරු මන්ත්‍රීවරු පිරිසක් ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks