පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-12-07
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සඳහා පත් කළ රජයේ ගිණුම් පිළිබඳ අනු කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සඳහා සකස්කළ වාර්තාවේ කෙටුම්පතෙහි සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (දෙසැ. 05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019, 2020 හා 2021 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සලකා බැලීම සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා 2023.09.20 දින පවත්වන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මතු වූ කරුණු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින ආයතන හා ඒවායේ කාර්යභාරයන් සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කොට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මතු වී තිබුණි. ඒ අනුව කෝපා කමිටුව විසින් අනු කාරක සභා දෙකක් පත් කළ අතර ඉන් එක් අනු කාරක සභාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කොට තිබුණි.
මේ අනුව මෙම අනු කාරක සභාව 2023.09.27 දින සිට අවස්ථා 6ක් රැස් වී අවශ්‍ය අංශ සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා පවත්වා මෙම වාර්තාවේ කෙටුම්පත සකස් කොට නිර්දේශ 19ක් ඉදිරිපත් කොට තිබේ. මේ අනුව මෙම නිර්දේශ සම්බන්ධයෙන් කෝපා කමිටුව මෙහිදී සලකා බැලීම සිදු විය.
මෙම කෙටුම්පත් වාර්තාව කෝපා කමිටුවට ඉදිරිපත් කරමින් අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හදිසි ඖෂධ මිලදීගැනීම් සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් මෙම අනු කමිටුවට අනාවරණය වූ බවත් ඒවා අවම කිරීමට නිර්දේශ මෙම වාර්තාව මගින් ඉදිරිපත් කරන බවත්ය. එසේම ප්‍රසම්පාදනය සඳහා දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන් මතුවන ගැටලු අවම කිරීමටද නිර්දේශ ඉදිරිපත් කොට ඇති බවද හෙතෙම පැවසීය.
මේ අනුව මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ජේ.සී. අලවතුවල, ගරු ඒ.එල්.එම්. අතාඋල්ලා, ගරු වීරසුමන වීරසිංහ, ගරු මංජුලා දිසානායක සහ ගරු එස්. ශ්‍රීතරන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


