E   |     |  

2023-11-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

‘අස්වැසුම’ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම හා එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවාව ලබා ගැනීම සම්බන්ධව ක්‍රම සහ විධි කාරක සභාවේ අවධානය

  • ‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය සහ දෙවෙනි අදියර ක්‍රියාත්මක කිරීමේදී පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සූදානම්
  • අස්වැසුම සඳහා ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීමේ දී එම නිලධාරීන් දඬුවමට යටත් වන 2002 අංක 02 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වෙනි වගන්ති පරිච්ඡින්න කිරීමට සළකා බැලීමට උපදෙස්
  • අස්වැසුම රාජකාරි ඉටු කිරීමේදී ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවිය යුතු දීමනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර කාරක සභාවට දැනුම්දීමට නිර්දේශ

 

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ 18 වෙනි රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ. 22) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ.

මෙහිදී ‘අස්වැසුම’ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ දී හා එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සේවාව ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරුණි.

මෙම සාකච්ඡාව සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති වන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශිලී ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, උපාධිධාරී ග්‍රාම නිලධාරී සංගමය, රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා එක්සත් ගම්පත ග්‍රාම නිලධාරී සංගමය යන සංගම්වල නියෝජිතයන් කැඳවා තිබුණි.

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අභියාචනා ක්‍රියාවලිය සහ එහි දෙවන අදියරය ක්‍රියාත්මක කිරීමට අදාළව ග්‍රාම නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම සඳහා මූලික වශයෙන් ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළු සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශය විසින් විසඳුමක් සෙවිය යුතු බවත්, ඔවුන් සමග ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවත්වන සාකච්ඡාවක් වෙනුවෙන් පහසුකම් සපයන්නෙකු ලෙස අවශ්‍ය සම්බන්ධීකරණය ලබා දීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සූදානම් බවත් සභාපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

අස්වැසුම යෝජනා ක්‍රමය හා සම්බන්ධ වීම සඳහා ග්‍රාම නිලධාරීවරුන්ගේ පාර්ශවයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සභාපතිවරයා විසින් විමසන ලදී. එහිදී මූලික වශයෙන් අස්වැසුම යෝජනා ක්‍රමය සමග සම්බන්ධවීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගෙන් බලාපොරොත්තු වන නිශ්චිත කාර්යභාරය කුමක්ද යන්න සඳහන් කරමින් ලිඛිතව බලය පැවරීමක් අවශ්‍ය බව ග්‍රාම නිලධාරීහු කියා සිටියහ. එ‍මෙන්ම, අස්වැසුම රාජකාරිවලදී අධීක්ෂණ නිලධාරියෙකු ලෙස පරිපාලන ග්‍රාම නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙනු ලැබිණ. එමෙන්ම, අස්වැසුම රාජකාරි ඉටු කිරීමේදී ග්‍රාම නිලධාරීන්ට ලැබෙන නීතිමය රැකවරණය, කාර්ය වගකීම් සඳහා වන කාලරාමුව සහ නිලධාරීන් සඳහා ගෙවන දීමනාව කොපමණ ද සහ එම දීමනාව පවත්නා ජීවන වියදමට සහ අදාළ කාර්යභාරය සඳහා ප්‍රමාණවත් මුදලක් විය යුතුය යන්න නිශ්චිත වශයෙන් ලිඛිතව බලය පැවරීමේ දී අත්‍යවශ්‍ය වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. කාරක සභා සභාපති ගරු පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ මින් පෙර රජය සමෘද්ධි වැඩසටහන සමග ‘විදාතා’ මධ්‍යස්ථාන ඇති කිරීම මගින් ජනතාවට තාක්ෂණය ලබා දීමේ වැඩපිළිවෙලක් ද, මහ බැංකුව විසින් සෞභාග්‍යා වැනි ණය යෝජනා ක්‍රමයක් ද ආරම්භ කළාක් මෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් අස්වැසුම වැනි ප්‍රතිලාභ යෝජනා ක්‍රම සඳහා සම්බන්ධ කිරීමේ වැදගත් වන බවයි.

ශ්‍රී ලංකාව පුරා සිටින පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් 332 දෙනා සහ එක් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතියකින් තිදෙනෙක් බැගින් ග්‍රාම නිලධාරී නියෝජිතයන් සම්බන්ධ කරගෙන අස්වැසුම ක්‍රියාවලියේ අභියාචනා ක්‍රියාවලිය සහ දෙවෙනි අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවක්  ලබා ගැනීමට අදාළව වගවීම, තාක්ෂණික වශයෙන් සිදු විය යුතු වෙනස්වීම්, දීමනා යනාදිය නිශ්චය කර ගැනීමට සාකච්ඡාවක් කැඳවන ලෙස ද සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

එසේම අස්වැසුම රාජකාරි ඉටු කිරීමේදී ග්‍රාම නිලධාරීන්ගේ හා පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ වගකීම් ලිඛිතව ලබා දීම, අස්වැසුම සඳහා ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීමේ දී නීතිමය වශයෙන් ඔවුන් දඬුවමට ලක් කළ හැකි  අදාළ පනතේ  21 සහ 22 වෙනි වගන්ති යළි සමාලෝචනය කර පරිච්ඡින්න කිරීම සදහා සලකා බැලීමටත් මෙහිදී සභාපතිවරයා නිර්දේශ කරන ලදි. එමෙන්ම, මෙවැනි වැඩසටහන් සඳහා නිර්ණායක සැකසීමේදී බිම් මට්ටමින් අදහස් ලබා ගැනීමේ අවශ්‍යතාවයද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව ඉරුදේණියාව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ශෂින්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු සංජීව එදිරිමාන්න, ගරු නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ හා ගරු වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-09-18

පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වා මහතාට


2026-09-18

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට විශේෂ කාරක සභාව තීරණය කරයි

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10)  රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.


2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks