පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-18
විවිධ භාණ්ඩ සඳහා මහජනතාව විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කෙරිණි.
වර්තමානය වනවිට එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ආයතන දහතුන් දහසක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මගින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බව ඊට පිළිතුරු ලබාදෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී පැවසුහ. මහජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කලයුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.
මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019,2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීකෂාව සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.15 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
RAMIS පරිගණක පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටම භාර ගෙන පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවාද යන්න සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් තවමත් අදාළ මානව සම්පත නිසියාකාරව නොලැබීම මත එම පද්ධතිය භාර ගෙන පවත්වාගෙන යාමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වෙමින් ආයතන 6ක් කටයුතු කරන අතර සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුව යම් තාක්ෂණික හේතුවක් මත තවමත් RAMIS පද්ධතිය හා සම්බන්ධවීමට ප්‍රමාද වී ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව වහාම තමන්ගේ පද්ධතියේ අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරමින් RAMIS පද්ධතිය හා සම්බන්ධවීමට කටයුතු කරන ලෙස කාරක සභාව සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලදී. එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන ජනවාරි මස පළමු වැනිදාට පෙර කාරක සභාවට යොමු කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදී.
වර්තමානය වනවිට වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ අය කරන බදු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙන්ම අයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943 වූ හිඟ බදු මුදල් පිළිබඳවද සම්පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.
නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව 2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් එක් ලක්ෂ අනූ අටදහස් දෙසිය පනස් තුනක් පමණ ලියාපදිංචි කර ඇති බව නිලධාරීහු පැවසූහ. වයස 18ට වැඩි පුරවැසියන් මිලියන 16ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඇතුලත් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.
මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු (නීතිඥ) මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ප්‍රසන්න රණවීර, ගරු චාමර සම්පත් දසනායක, ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක, ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා, ගරු අශෝක් අබේසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


