පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-18
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ජා විය.
මේ රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති, පසුගිය මාස 2-3 දෙස බලන විට නැවතත් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේවල් රට තුළ සිදුවී ඇති අතර ඇතැම් දේශපාලන නායකයන් සහ ආගමික නායකයින් අන්‍ය ආගම් හෝ ජාතීන්ට නිග්‍රහ වන ලෙස හැසිරෙන බවත් මෙය දිගින් දිගටම සිදුවුහොත් මේ රට ආර්ථික බංකොලොත් තත්ත්වයෙන් ගොඩගැනීමේ රජයේ උත්සාහය අසාර්ථක වන බවත් පැවසීය. එබැවින් මෙම පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය පියවර මෙම කාරක සභාව හරහා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත හරහා යෝජිත ඉලක්කයක් වන ප්‍රතිසංධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් එය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කළ හැකි බවත් ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. එමෙන්ම විශ්වවිද්‍යාල සහ පාසල් හරහා සිදුකරන ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳවද ඔවුන් කාරක සභාව දැනුවත් කළේය.
ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ හොඳම වේදිකාව පාසල් ව්‍යුහය බව පෙන්වා දුන් කාරක සභාව, මෙම පනත සඳහා නීත්යානුකූලවම පාසල් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි වන්නේ කෙසේදැයි විමසා සිටියේය. එයට පිළිතුරු ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂික පාසල් 67න් තෝරාගත් පාසල් සමඟ මූලික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයයෝ පැවසූහ. තවද මෙම පනතේ විධිවිධානවලට අනුව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයට අවශ්‍ය සංශෝධන සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ.
මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්, ආංශික අධීක්ෂණ කාරක සභාවේ මීළඟ රැස්වීම්වලට තරුණ නියෝජිතයන් ද ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් කාරක සභාවේ සභාපති ගරු ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පැවසීය.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චින්තක අමල් මායාදුන්න මහතා ද සහභාගී විය.
2026-09-25
නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.
2026-09-24
ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.එමෙන්ම, ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.මේ අතර, දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ විය.දිවයින පුරා පවතින ළමා නිවාස පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීම සඳහා මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් විය. දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීම සඳහා එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් විය. විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.එමෙන්ම, 2027 වසර වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
2026-09-23
සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-23
ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) මගින් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන වර්ග පුළුල් කිරීම,වාහනවලට ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි..ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් විය.ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය විය.මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


