පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-16
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්රතික්ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් ලෙස කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය විය.
ප්‍රසම්පාදන කමිටුවේ තීරණය නියමිත පරිදි ගිවිසුම් කොන්දේසි වලට ඇතුළත් නොකිරීම නිසා අදාළ සැපයුම් කරුගෙන් එම හිඟ මුදල් ලබා ගැනීම ගැටලුකාරීවී ඇති බව විගණන නිලධාරීහු පැවසුහ. කෙසේ වෙතත් බංකලොත් බව ප්‍රකශ කළ සැපයුම්කරුවෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයක සැපයුම් කරුවෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇත්තේ කෙසෙද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවදුරටත් අදාළ හිඟ මුදල් නොගෙවූ සැපයුම් කරුවන් ආරක්ෂා නොකොට ඔවුන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් කඩිනම් අයකර ගැනීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අනු කාරක සභාව සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව 2023.11.09 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
සියලුම රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ කාර්ය මණ්ඩල පැමිණීම හා පිටවීම සනාථ කරන ලෙස 2017 වසරේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කරන ලදී. එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්න සභාපතිවරයා විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කලහ. පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණ වලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම් වල ගැටලු පිළිබඳව මෙන්ම අතර මග නවතා දමා ඇති ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අනුකාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී සුදානමකින් තොරව අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා අනු කාරක සභාව හමුවේ පෙනීසිටි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අනු කාරක සභාවේ දැඩි අප්‍රසාදය හිමිය.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු වජිර අබේවර්ධන, ගරු මංජුලා දිසානායක, ගරු මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


