බලන්න

01

E   |   த   |  

2023-11-08

පුවත් කාණ්ඩ : පුවත් 

"දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය හෙට

  • යෝජනාවට අදාළ ඡන්ද විමසීම ප.ව. 5.30 ට 

 

"දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව  විවාදය හෙට (නොවැ. 09) පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තීරණය විය.

මේ අනුව  විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කිරීමටත්  ආණ්ඩු පාර්ශ්වය විසින් එය ස්ථීර කිරීමටත් මෙහිදී එකගත්වය පළ වී ඇත.   

ඒ අනුව, හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළ අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 09.30 ට විවාදයකින් තොරව අනුමත කිරීමට මෙහිදී තීරණය වී ඇත. තවද හෙට දිනයේ විමසීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමටත් මෙහිදී එකගත්වය පළ වී තිබේ.

ඉන් අනතුරුව, හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා "දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් වන යෝජනාවට අදාළව විවාදය පැවැත්වෙන අතර, ප.ව. 5.30 ට එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

‍මේ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දුෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දුෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද  එකී යෝජනා සම්මතය මගින් දක්වා ඇත.

 



සම්බන්ධිත පුවත්

2026-11-16

උතුරේ හා නැගෙනහිර අත්අඩංගුවට ගත් හා භාර වූ පුද්ගලයන් 12,196 ක් පුනරුත්ථාපනය කර සමාජගත කරයි

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටුම් පැවති සමයේ සහ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් හෝ භාර වූ පුද්ගලයන් 12,196 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ උපදේශන, යෝගා සහ ආධ්‍යාත්මික වැඩසටහන්, මූලික අධ්‍යාපන හා භාෂා පුහුණු වැඩසටහන් මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමේ වැඩසටහන් මෙන්ම චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව ඇතුළත් සෞන්දර්ය වැඩසටහන්, රියදුරු පුහුණුව සහ ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇති බවත්, එම පුහුණුවට අදාළ උපකරණ සහ වෙනත් ආධාර ද ලබා දී  තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.එමෙන්ම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ණය මුදල්, නිවාස, මහන මැෂින්, ධීවර දැල්, පාපැදි, ජල පොම්ප, වඩු උපකරණ, සැකසුම් උපකරණ, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් සහ ත්‍රීරෝද රථ ඇතුළු ආධාර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සභාගත කළ වාර්තාවේ සඳහන් වේ.


2026-11-16

ස්වේච්ඡා ගුරුවරුන් 4,700 ක් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරන ගුරුවරුන් 4,700 දෙනෙකු ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 06/2282/229/085-II අනුව මෙම බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ගුරු සහායකයින් ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වලට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති ස්වේච්ඡා ගුරුවරුන් 4,700 දෙනාගෙන් 462 දෙනෙකු උතුරු  සහ නැගෙනහිර පළාත් වලට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-14

වන අලි හා දුම්රිය ගැටුම් අවම කිරීම සඳහා තිරසර විසඳුම් හඳුන්වා දීම

දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාම වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබා දීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය සේවකයන් දැනුවත් කිරීම, වන අලි වාසස්ථාන කළමනාකරණය කිරීම සහ නවීන නිරීක්ෂණ හා හඳුනාගැනීමේ තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් දුම්රියේ ගැටී වන අලි මිය යාම අවම කිරීම අරමුණු කර ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. පාර්ලිමේන්තුවේ දී  සභාගත කරන ලද පිළිතුරට අනුව ,දුම්රිය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දෙපස හොඳින් දර්ශනය වන හා වඩා හොඳින් වේගය පාලනය කළ හැකි දියුණු දුම්රිය කට්ටල හඳුන්වා දීම මෙන්ම ගල්ඔය හන්දියේ සිට හිඟුරක්ගොඩ හා ගල්ඔය හන්දියේ සිට කන්තලේ දෙසට සම්පූර්ණයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය කි.මී. 27 ක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල ගල්අතුරා වන අලින්ට පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගයේ සිල්පර අතර හිස්තැන් පිරීයන පරිදි කොන්ක්‍රීට් ගල් කියුබ් 800 ක් අතුරා අවසන් කොට ඇත.දුම්රිය මාර්ගයේ සමහර ස්ථානවල හා වංගු සහිත ස්ථානවල ගැවසෙන වන අලින් දුම්රිය රියදුරන්ට නොපෙනෙන බැවින් එම ස්ථානවල මීටර් 10 සිට 20 දක්වා යටි පඳුරු ඉවත් කිරීමට කටයුතු කරන අතර මේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කි.මී. 20 ක් සුද්ද පවිත්‍ර කොට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය මාර්ග භාරව කටයුතු කරන ඉංජිනේරුවරුන් හා දුම්රියේ රියදුරු සහායක නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 2025.05.16 හා 17 යන දිනයන්හි සිදු කෙරිණි.හබරණ දුම්රිය ස්ථානය පසුකර කන්තලේ දෙසට ගමන් කිරීමේදී හමුවන වනසංරක්ෂණ රක්ෂිතය තුළ දුම්රිය මාර්ගයෙන් සැලකිය යුතු දුරින් ඔබ්බට ජලය සපයා ගැනීමට හැකියාවක් ඇති වැව් දෙකක් ඉදි කිරීම හා සුපෝෂණ කටයුතු සඳහා රු. මිලියන 25.4 ක ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. ගල්ඔය හා මින්නේරිය අතර 141 ස්ථානයේ කාසිකොටේ දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන ස්ථානය නිරීක්ෂණය සඳහා CCTV Camera සවි කර ඇති අතර එය, අනුරාධපුර මෙහෙයුම් මැදිරිය මඟින් නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර වන අලි හඳුනා ගැනීම සඳහා Thermal Detector Camera දුම්රිය මත සවි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරෙයි. දුම්රියේ ගැටීමෙන් 2020 වර්ෂයේ සිට 2026.10.12 දක්වා කාලය තුළ අලි ඇතුන් 81 දෙනෙකු මියගොස් ඇති බව සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.


2026-11-12

මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

දෙවැනිවර කියවීමේ විවාදය හෙට (නොවැ. 13) සිට නොවැම්බර් 20 දක්වාකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමඟ ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සභාගර්භයට පැමිණි අතර ප.ව. 6.30 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වීමට නියමිතව තිබේ.2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks