logo

01

E   |     |  

2023-11-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ නව පනත් කෙටුම්පතක්

අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (අධිනීතිඥ) ගරු ජෝන් සෙනවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදි ඊයේ (නොවැ. 07) රැස්වූ අවස්ථාවේදී ය.

අධිකරණයට අපහාස කිරීමේන් නඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ භාවිත වන පරිචයන් බොහෝ අවස්ථාවල දැඩි විවේචනයට ලක්ව ඇති අතරම මෙම නීතිමය කරුණු අදහස් ප්‍රකාශනයේ නිදහසටද බලපෑමක් ඇති කරන බවටද අදහස් මතුව තිබෙන බව කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද විවිධ අවස්ථානුගත තත්ත්වයන් යටතේ හඳුනා ගතහැකි නිසා අධිකරණ නියෝග, තීන්දු ප්‍රකාශ සහ විනිශ්චයන් බලාත්මක කිරිම සම්බන්ධ නඩුවලදී පවා මෙය අදාළ කර ගත හැකි පැහැදිලි විධිවිධාන වත්මන් නීතිය තුළ අන්තර්ගත නොවන බැවින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කොට අති බව මෙහිදි අවධාරණය විය.

මෙයට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා (101 අධිකාරය) සංශෝධනය (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය) පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.  මෙරට යුක්තිය බලපා ඇති නොවිසඳුණු අකාර්යක්ෂමතාවයන් සහ ගැටළු විසඳීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ පූර්ව නඩු විභාගයට අදාළ දැනට පවතින ක්‍රියා පටිපාටිය සමාලෝචනය කිරීම පිණිස පත් කරන ලද කමිටු නිර්දේශයන්ට අනුකූලව මෙම පනත් කෙටුම්පත සකස් කොට තිබේ. මෙහිදී යෝජිත සංශෝධන මගින් සාක්ෂි සහ ලේඛන ලැයිස්තුව ගොනු කිරීම, විචාරණ භාරදීම, පිළිගැනීම් වාර්තා කිරිමේ ක්‍රමය, ලේඛන හුවමාරු කිරීම සහ 1995 අංක 14 දරන ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත පිළිගැනීම ආදියට අදාළ පෙර පැවති නීතියේ දුර්වලතා මගහරවා ගැනීමට අපේක්ෂිත බව මෙහිදි අවධාරණය විය.

එමෙන්ම 2023.09.15 දින සිට ක්‍රියාත්මක කරන ලද 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ සිංහල සහ ඉංශ්‍රීසි පාඨයේ ඇතැම් වැරදි පාරිභාසික වචන සහ ඒවාට ඉදිරිපත් කරන ලද සංශෝධන පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.

මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (නීතිඥ) තලතා අතුකෝරළ, (නීතිඥ) අනුර ප්‍රියදර්ශන යාපා, චින්තක අමල් මායාදුන්නේ, ඉසුරු දොඩංගොඩ සහ (නීතිඥ) ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මේ අතර, උක්ත පනත් කෙට්ම්පත් තුන සම්බන්ධව අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ද දීර්ඝවශයෙන් සාකච්ඡා කෙරිණි.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-06-23

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විගනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට

මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මහා භාරකාර දෙපාර්තමේන්තුවට වත්කම් ලැබෙන විවිධ මාර්ග, එම එක් එක් වත්කම් ලැබුණ දින වකවානු, එම වත්කම් පවරණු ලැබුවේ කවුරුන් විසින්ද යන්න, පැවරීමට අදාළ කොන්දේසි ආදී කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස 2024 මැයි මස කාරක සභාව රැස් වු අවස්ථාවේ ලබා දී තිබූ නිර්දේශය සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විමසා සිටියේය. මේ අනුව, මේ සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තාව කාරක සභාව වෙත ලබා දුන් බව නිලධාරීහු කියා සිටියහ. එසේම මෙහිදී මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු භාර සහ බූදල් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.ගාල්ල බද්දේගම, සුදුවැලිපොත පිහිටි හැරී හපුගොඩ බූදලයට අයත් අක්කර 113ක භූමි ප්‍රමාණය ‍බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීය. එහිදී තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මේ වන විට ටෙන්ඩරයක් ලැබී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මීට අමතරව මෙම ඉඩමේ කොටස් විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ජූලි මාසය වන විට මෙම ගොඩනැගිල්ලේ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ඉඩමේ පොල් අස්වැන්න හොඳින් පවතින බවත් එය නියමාකාරයෙන් නඩත්තු නොවන බවත් කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු කියා සිටියහ. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු වෘත්තීය අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ,  කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-06-23

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට අගමැතිවරියගෙන් උපදෙස්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව දැනට පවතින ගැටලු රැසක්  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ඉදිරිපත් කළහ.ඒ අනුව ප්‍රාථමික පාසැල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියකට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසැල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු,  ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසැල්වල සිදු වන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු  රැසක්  කාරක සභාවේදී සාකච්ඡා විය. එම කරුණු සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,  වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරු ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  


2026-06-22

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය

එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) සංසිද්ධීන් හී බලපෑම්වලින්  ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය යොමු විය.ඒ එම  සංසදය එහි සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පර විරංජනයවීම (Coral Bleaching), මත්ස්‍ය ගහනයේ සිදු වන  සංක්‍රමණික වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය (Algal Blooms), ඔක්සිජන් අවම කලාප (Dead Zones) ඇතිවීම සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වර්ධනය වීම වැනි ගැටලු පිළිබඳව සහභාගී වූ නිලධාරීහු සංසදයේ අවධානයට යොමු කළහ.එමෙන්ම, නියඟ තත්ත්වයන්හි  ප්‍රතිඵලයක් ලෙස  ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ල වීම සහ ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර,  එකී  ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සංසදය විසින් සහිපත් කරන ලදී. තවද, ඉදිරියේදී ඇති විය හැකි “ එල් නිනෝ” ( El Niño) තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කරන ලදී.එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන, ප්‍රජනන රටාවන් සහ ජීවත් වීමේ  හැකියාව කෙරෙහි ද බලපෑම් එල්ල වන බව මෙහිදී අවධාරණය කෙරිණි. වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, නියඟ තත්ත්වයන් සහ උෂ්ණත්වය ඉහළ යෑමෙන්  ගෙම්බන් ඇතුළු උභයජීවී විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවත්, එමගින් පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ද බලපෑම් ඇති විය හැකි බවත් සහභාගී වූ  නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන්, පර්යේෂකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය .


2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks